ඉන්දියාවේ 'ඇසෑම්' ප්‍රාන්තයේ ගුහාති හා ශිලොන් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ (සාග්) තෙවැනි දිනය වූ ඊයේ (07දා) දිනය නිමා වනවිට පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
ශ්‍රී ලංකාව රන් පදක්කම් 08 ක්, රිදී පදක්කම් 18 ක් හා ලෝකඩ පදක්කම් 14 ක් සමගින් සමස්ත පදක්කම් 40 ක් දිනාගෙන සිටියි. සුපුරුදු පරිදි සත්කාරක ඉන්දීය කණ්ඩායම මෙහි පෙරමුණේද, පාකිස්තානය තෙවැනි ස්ථානයේද පසුවෙයි.
තෙවැනි දිනය වූ ඊයේ (07දා) දිනයේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 04 ක් දිනාගැනීමට සමත්වූ අතර, මැතිව් අබේසිංහ (පිහිනුම්/මී. 50 නිදහස් ආර) ජීවන් ජයසිංහ (පාපැදි/ කි.මී. 60), කිමිකො රහීම් (පිහිනුම්/ මී. 200 පසුපස ආර) හා පී.එල්.එච්. ලක්ෂාන් (වූෂු/තාවුලු) එම පදක්කම් දිනූහ. ඔවුන්ට අමතරව රිදී පදක්කම් 08 ක් හා ලෝකඩ පදක්කම් 07 ක් දිනාගැනීමට ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවට හැකිවිය.
මෙහි දෙවැනි දිනයවූ පෙරේදා (06දා) දිනයේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 04 ක්, රිදී පදක්කම් 10 ක් හා ලෝකඩ පදක්කම් 07 ක් සමගින් සමස්ත පදක්කම් 21 දිනාගත් අතර, එය සාග් ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ එක් දිනකදී වැඩිම පදක්කම් ගණනක් දිනාගත් පළමු අවස්ථාව විය.
ක්‍රීඩා උලෙළේ පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාව දකුණු ආසියානු පාපන්දු ශූරතාව හිමිකරගෙන සිටින ඉන්දියාව ගෝල 1-0 කට පරාජය කරමින් පෙරළිකාර ජයක් ලබාගැනීමට සමත් විය. මෙම තරගයේ 13 වැනි විනාඩියේදී නායක එම්. රිෆ්නාස් නිදහස් පහරක් සාර්ථක කරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රාහී ගෝලය වාර්තා කර දුන්නේය.
ශ්‍රී ලංකාව සාග් ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ ඉන්දියාව පරාජය කළ පළමු අවස්ථාව මෙය වන අතර, 1995 වසරෙන් පසුව ශ්‍රී ලංකාව ප්‍රධාන ජාත්‍යන්තර තරගාවලියකදී ඉන්දියාව පරාජය කළ පළමු අවස්ථාව මෙය විය. 1989 වසරේ සිට ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තරග 15 කට මුහුණ දී සිටියත්, ඉන් ජයගෙන ඇත්තේ තරග 03 ක් පමණි. 2006 වසරේ කොළඹ පැවැති සාග් ක්‍රීඩා උලෙළේදීද ශ්‍රී ලංකාව එහි අවසන් මහා තරගයේදී ඉන්දියාව ඉදිරියේදී පරාජය විය.
මෙවර සාග් ක්‍රීඩා උලෙළේ පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාව අද (08දා) මාලදිවයිනට එරෙහිව මූලික වටයේ දෙවැනි තරගයට සහභාගි වේ. මෙය ජයගතහොත් ශ්‍රී ලංකාව තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇත.
මෙවර සාග් ක්‍රීඩා උලෙළේ පදක්කම්ලාභීන්ට රන් පදක්කමට රුපියල් ලක්ෂ 05, රිදී පදක්කමට රුපියල් ලක්ෂ 03 හා ලෝකඩ පදක්කමට රුපියල් ලක්ෂ 02 ලෙස හා කණ්ඩායම් ඉසව්හි ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග ලබාදෙන බවට ප්‍රතිඥා දුන් අතර, ඒ අනුව ඊයේ (07දා) දිනය අවසන් වනවිට පමණක් පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබන මුළු ත්‍යාග මුදල රුපියල් කෝටිය ඉක්මවා තිබුණි.
පදක්කම් සටහන