(Update)
ඉන්දීය කණ්ඩායමෙන් එල්ලවූ ලකුණු 413ක ජයග්රාහී ඉලක්කයට පිළිතුරු ලෙස දෙවැනි ඉනිමේ පන්දුවට පහරදෙමින් සිටි ශ්රී ලංකා කණ්ඩායම සිවුවැනි දිනට අද (23දා) තරගය නතරකරන විට කඩුලු 02ක් බිඳවැටී ලකුණු 72 ක් රැස්කරගෙන සිටියේය.
ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න (25) හා නායක ඇන්ජලෝ මැතිව්ස් (23) කඩුල්ලේ රැදී සිටියි. ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායමට ජයග්රහණය සඳහා හෙට (24දා) දිනයේදී ලකුණු 341ක් ලබාගත යුතුව ඇත.
සුපුරුදු පරිදි දිමුත් කරුණාරත්න සමගින් කෞෂාල් සිල්වා ශ්රී ලංකා දෙවැනි ඉනිම ආරම්භ කළේය. කෙසේ නමුත් තරගාවලියේ මේ දක්වා සාර්ථක ආරම්භකයක් ඔවුන් දෙදෙනාගෙන් නොලැබුණු අතර, මෙම ඉනිමේදී පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 08කට සීමාවෙමින් එක් ලකුණකට කෞෂාල් සිල්වා දැවී ගියේය. ඉන් අනතුරුව පිටියට පිවිසි කුමාර් සංගක්කාරටද වැඩිවෙලාවක් කඩුල්ලේ රැඳීසිටීමට නොහැකිවූ අතර, මුළු ලකුණු 33ක් වනවිට දෙවැනි කඩුල්ල ලෙස ඔහු දැවී ගියේය.
ශ්රී ලංකාවට 413ක ඉලක්කයක්
ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 413ක ඉලක්කයක් ලබාදෙමින් ඉන්දීය ඉනිම දැන් අත්හිටුවීය. ඉන්දීය කණ්ඩායම දෙවැනි ඉනිමට කඩුලු 08ක් දැවී ලකුණු 325ක් රැස්කිරීමට සමත්විය. ඒ සඳහා පන්දුවාර 117ක් තිබේ.
ඉන්දීය දෙවැනි ඉනිම ඔසවා තැබූ අජින්කේ රහානේ ලකුණු 126 ක් රැස්කළ අතර, ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධම්මික ප්රසාද් (4/43) හා තරිඳු කෞෂාල් (4/118) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ.