කටාර්හි දෝහා අගනගරයේ ඊයේ (11දා) අවසන් වූ පළමුවැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කමක් හා රිදී පදක්කම් තුනක් දිනාගැනීමට තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ශ්‍රී ලංකාවට දිනාදුන් එකම රන් පදක්කම උඩබුලත්ගම අඹගමුව මහා විදුහලේ ඩී.එම්. යමානි දුලාංජලී දිනාදුන්නාය. මීටර 400 කඩුලු පැනීම ඉසව්ව නියෝජනය කළ ඇය තත්පර 61.27 කාලයකින් සිය ඉසව්ව අවසන් කර මෙම පදක්කම දිනාගත්තාය. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය එකම ක්‍රීඩිකාවද ඇය විය.
ඇයට අමතරව උසපැනීම කාන්තා ඉසව්ව නියෝජනය කළ ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විදුහලේ ආර්.ආර්. ධම්මිකා රණතුංග මීටර 2.12 ක දක්ෂතාවක් දක්වමින් රීදී පදක්කමක් දිනාගත් අතර, මීරිගම ඩී.එස්. සේනානායක මධ්‍ය මහා විදුහලේ එල්.ඩබ්. චාමල් කුමාරසිරි (තුන් පිම්ම/ මීටර 15.39) හා මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ යූ.බී.ඩී.එම්.එස්. රාජපක්ෂ (මීටර 400 කඩුලු පැනීම/ තත්. 52.88) ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දෙකක් දිනාදීමට සමත්වූහ.
පදක්කම් ජයග්‍රහණය කළ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම පෞද්ගලික හොඳම දක්ෂතා දක්වා ඇති අතර, ඔවුන් මෙම වසරේ ජූලි මාසයේ කොළොම්බියාවේ පැවැත්වෙන ලෝක ශූරයා යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ඇත. තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (12දා) දිවයිනට ළඟාවීමට නියමිතව ඇත.