ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (25දා) තමන් මුහුණදුන් පළමු තරගයෙන් ජාත්‍යත්තර ක්‍රිකට් පිටියේ එතරම් අත්දැකීම් නොමැති එක්සත් අරාබි එමීර් (යූ.ඒ.ඊ.) කණ්ඩායම පරාජය කර ලකුණු 14 ක අපහසු ජයක් ලැබීමට සමත් විය. විස්සයි20 තරග බිමේ ශ්‍රී ලංකාව හා යූ.ඒ.ඊ. අතර පැවැති පළමු ජාත්‍යන්තර තරගයද මෙය විය.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 130 ක ඉලක්කයට පිළිතුරු ලෙස යූ.ඒ.ඊ. කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 115 ක් පමණි.
ප්‍රතිවාදී ඉනිම වේලාසනම දඩයම් කිරීම ඇරඹු ලසිත් මාලිංග, පළමු පන්දු වාරයේදීම කඩුලු දෙකක හිමිකරුවා වෙමින් ජයග්‍රාහී මාවත විවර කරදුන් අතර, සිය අත්දැකීම් මනාව උපයෝගි කරගත් මාලිංග සිය පන්දුවාර 04 තුළදී කඩුලු 04 ක් යූ.ඒ.ඊ. කණ්ඩායමට අහිමි කළේය. මාලිංගට අමතරව නුවන් කුලසේකර කඩුලු 03කින් හා රංගන හේරත් කඩුලු දෙකකින් දායක වෙමින් ජයග්‍රහණයේ කොටස්රකරුවෝ වූහ. ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉදිරියේ සාර්ථක වූ ස්වප්නිල් පටිල් ලකුණු 37 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ඉහළම ඉනිම ක්‍රීඩා කළේය.
මීර්පූර්හි ශේර් බංග්ලා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ප්‍රතිවාදී කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 129 ක් රැස්කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම සොයාබැලීම් කිහිපයක් මෙම තරගයේදී සිදුකළ බවක් දැකගත හැකි විය. විශේෂයෙන් ආරම්භක පිතිකරු යුගලයේ මෙන්ම, පිතිකරණ ලැයිස්තුවේද වෙනස්කම් කිහිපයක් සිදුකර තිබුණි.
ඒ අනුව ආරම්භක පිතිකරුවන් ලෙස තිලකරත්න ඩිල්ෂාන් සමගින් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළහ. චන්දිමාල් තෝරාගැනීමේ කිසිදු අසාධාරණයක් නොමැති බව ඔහු සිය පිත්තෙන් ඔප්පුකර පෙන්වූ අතර, ඔහු ඩිල්ෂාන් සමගින් පළමු කඩුල්ලට ලකුණු 68 ක් එක් කළේය. කෙසේ නමුත් චන්දිමාල් වේගවත් පහරවල් එල්ල කළද, වෙනදා දකින ප්‍රහාරාත්මක ඉනිම මෙහිදී ඩිල්ෂාන්ගෙන් ඉස්මතු නොවීය. මන්දගාමීව ඉනිම ගොඩනගමින් සිටි ඩිල්ෂාන් ලකුණු 27 ක් රැස්කරගෙන සිටියදී දැවී ගිය අතර, ඔහු ඒ වනවිට පන්දු 28කට මුහුණදී සිටියේය. ඒ වනවිට චන්දිමාල් ලකුණු 41 ක් රැස්කරගෙන සිටියේය.
ලකුණු සොයමින් සිටින ඩිල්ෂාන්ට මෙම වසරේදී සැලකිය යුතු දායකත්වයක් මෙතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදීමට නොහැකි වී ඇති අතර, ඔහු මෙම වසරේ විස්සයි20 තරග පහකට ක්‍රීඩා කර ඇති අතර, එහි ලකුණු රැස්කිරීම් 0, 28, 0, 1, 27 වේ.
ඩිල්ෂාන්ගෙන් පසු පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලබා අංක තුන පිතිකරු ලෙස මිලින්ද සිරිවර්ධන පිටියට පිවිසියේය. කෙසේ නමුත් සිරිවර්ධනට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට නොහැකි වූ අතර, ඔහුගේ ඉනිම ලකුණු 06කට සීමාවිය. ඉන් අනතුරුව ලකුණු අතර සිටි චන්දිමාල්ද මුළු ලකුණු 89 ක් වනවිට ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. ඔහු දැවී යනවිට ලකුණු 50 ක් රැස්කරගෙන සිටියේය. චන්දිමාල් ඊයේ රැස්කරනු ලැබුවේ ඔහුගේ දෙවැනි විස්සයි20 අර්ධ ශතයකයි.
ඉනිමේ සිවුවැනි හා පස්වැනි කඩුලු ලෙස දසුන් ශානක (5) හා ඇන්ජලෝ මැතිව්ස් (8) දැවීගිය අතර, ඉන් අනතුරුව කිසිදු පිතිකරුවෙකුට පසුපෙළ ශක්තිමත් කිරීමට නොහැකි විය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට පන්දුවාර 20 අවසානයේ රැස්කිරීමට හැකිවූයේ ලකුණු 129/8 ක් පමණි. තරගයේ වීරයා ලෙස ලසිත් මාලිංග සම්මාන දිනාගත්තේය.
ආසියානු කුසාලන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවැනි තරගය එළඹෙන ඉරිදා (28දා) සත්කාරක බංග්ලාදේශය සමගින් පැවැත්වේ. ඊට අමතරව යූ.ඒ.ඊ. - බංග්ලාදේශ තරගය අද (26දා) පැවැත්වෙන අතර, ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය හෙට (27දා) පැවැත්වේ.
ශ්‍රී ලංකාව 129/8 (පන්දුවාර 20)
දිනේෂ් චන්දිමාල් 50 (39, 4x7, 6x1), තිලකරත්න ඩිල්ෂාන් 27 (28, 4x4), මිලින්ද සිරිවර්ධන 06 (7), දසුන් ශානක 5 (11), ඇන්ජලෝ මැතිව්ස් 08 (9), ශෙහාන් ජයසූරිය 10 (7, 4x2), චාමර කපුගෙදර 10 (11), නුවන් කුලසේකර 7 (7, 4x1), දුෂ්මන්ත චමීර නොදැවී 1 (1)
යූ.ඒ.ඊ. පන්දු යැවීම
මොහොමඩ් නවීඩ් 2/27 (4), අම්ජාඩ් ජාවෙඩ් 3/25 (4), මොහොමඩ් ශෙහ්සාද් 2/27 (3), රොහාන් මුස්තාපා 1/17 (3)
යූ.ඒ.ඊ. 115/9 (පන්දුවාර 20)
රොහාන් මුස්තාපා 0 (1), මොහොමඩ් කලීම් 7 (11), මොහොමඩ් ශෙහ්සාද් 1 (2), මොහොමඩ් උස්මාන් 6 (9, 4x1), ශායිමන් අන්වර් 13 (15, 4x2), ස්වප්නිල් පටිල් 37 (36, 4x3, 6x2), සක්ලේන් හයිදර් 01 (9), අම්ජාඩ් ජාවෙඩ් 13 (18, 4x1), මොහොමඩ් නවීඩ් 10 (10, 4x1), අහමඩ් රාසා නොදැවී 09 (8), ඛදීර් අහමඩ් නොදැවී 02 (4)
ශ්‍රී ලංකාව පන්දු යැවීම
ලසිත් මාලිංග 4/26 (4), නුවන් කුලසේකර 3/10 (4), රංගන හේරත් 2/22 (4)
ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අද (25දා) ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ එමීර් රාජ්‍ය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම
ශෙහාන් ජයසූරිය, තිලකරත්න ඩිල්ෂාන්, දිනේෂ් චන්දිමාල් (කඩුලු රකින්නා), ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, දසුන් ශානක, නුවන් කුලසේකර, රංගන හේරත්, ලසිත් මාලිංග (නායක), දුෂ්මන්ත චමීර
එක්සත් අරාබි එමීර් කණ්ඩායම
රොහාන් මුස්තාපා, මොහොමඩ් කලීම්, මොහොමඩ් ශෙහ්සාද්, මොහොමඩ් උස්මාන්, ශායිමන් අන්වර්, අම්ජාද් ජාවිඩ් (නායක), සක්ලෙන් හයිදර්, ස්වප්නිල් පටිල් (කඩුලු රකින්නා), ඛදීර් අහමඩ්, අහමඩ් රාසා, මොහොමඩ් නවීඩ්