ලෝකයේ බිහිවූ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතා බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසා සිටියේය. ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (26දා) වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතා ක්‍රිකට් ක්‍රීඩාවට හා ශ්‍රී ලංකා ක්‍රිකට්වලට කළ සේවය අගයනු වස් සංවිධානය කර තිබූ උපහාර උලෙළකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අර්ජුන රණතුංග මහතා, "1993 ඔස්ට්‍රේලියාවට එරෙහි තරගාවලියට මම ඇතුළත්ව සිටියේ නැහැ. නමුත් පුහුණුකරුවෙකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණ සිටි සෝබර්ස් මහතා තේරීම් කමිටුවෙන් ඉල්ලා සිටියා මාව කණ්ඩායමට ඇතුළත් කරන්න කියලා. ඉන්පසුව මම කණ්ඩායමේ ස්ථාවර ක්‍රීඩකයෙකු වුණා. ඒනිසා මගේ ක්‍රිකට් දිවියේ විශේෂ පුද්ගලයෙකු ලෙස සෝබර්ස් මහතාව හඳුන්වා දීමට හැකියි" යැයි පවසා සිටියේය.
මෙම උපහාර උලෙළෙදී අදහස් දැක්වූ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතා පවසා සිටියේ, ගාමිණී දිසානායක මහතා ලංකාවේ පුහුණුකරුවෙකු ලෙස තමාට පැමිණීමට ආරාධනා කළ බවත්, ශ්‍රී ලංකාව ටෙස්ට් තත්ත්වය ලබාගෙන ඉතා හොඳ තත්ත්වයක සිටි නිසා හා අර්ජුන වැනි ක්‍රීඩකයන් ක්‍රීඩා කළ විලාසය තමාගේ සිත්ගත් බවත් පවසා සිටියේය.
එමෙන්ම එකල තමාගේ ප්රමුඛ කාර්යභාරය ලෙස ඉතා හොඳ වේගපන්දු යවන්නන් ශ්‍රී ලංකාවට බිහිකිරීම සැලකූ බවත්, අද වනවිට ශ්‍රී ලංකාව දක්ෂ ක්‍රීඩකයන් බිහිකරන තෝතැන්නක් බවත් සෝබර්ස් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
මෙම උපහාර උලෙළේදී ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට සමරු තිළිණ කිහිපයක් ප්රදානය කළ අතර, ඊට වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති ඇතුළු පිරිසක් සහභාගි වූහ.