ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් තොර ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තමන්ට එතරම් අභියෝගයක් නොවනු ඇතැයි බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක මුෂ්ෆිකර් රහීම් පවසයි. එළඹෙන මාර්තු 07 වැනිදා ආරම්භ වන බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ ටෙස්ට් තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා ඇත.
හෙතෙම වැඩිදුරටත් පවසන්නේ, අවසන් වරට ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති ටෙස්ට් තරගාවලියේදී (2012/2013) ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුවට ස්ථාවරත්වයක් සැපයූ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන් හෝ තිලාන් සරමරවීර වැනි දක්ෂ පිතිකරුවන් රහිතවීම තම කණ්ඩායමට වාසි සහගත වනු ඇති බවයි.
ටෙස්ට් තරග 02, එක්දින තරග 03ක් හා විස්සයි20 තරග 02කින් බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සමන්විත අතර, මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් නොමැතිවීම බංග්ලාදේශයට යම් අස්වැසිල්ලක් එක් කළ කරුණක් බවට පත්ව ඇත. බංග්ලාදේශයට එරෙහිව සිය උපරිම දක්ෂතා පිතිකරණය තුළින් දක්වා ඇති මැතිව්ස්, එම කණ්ඩායමට එරෙහිව තරගයකදී 5%ක ලකුණු සාමාන්‍යයක් රඳවාගෙන ඇත.
''ඒ ගොල්ලො (ශ්‍රී ලංකා කණ්ඩායම) සැලකිල්ලක් දක්වයි පසුගිය කාලයේදී බංග්ලාදේශ කණ්ඩායම දක්වපු දක්ෂතා සම්බන්ධයෙන්. නමුත් ශ්‍රී ලාංකිකයන් අපේ පුහුණුකරුවන් ලෙස ඉන්නවා. අපි හැම දෙයක් සම්බන්ධයෙන්ම සැලකිල්ලක් දක්වනවා. අපිට ඉදිරියට යන්න අවස්ථාවක් තිබෙනවා. අපි අපේ උපරිමයෙන් ක්‍රීඩා කළොත්, අපිට හොඳ ප්‍රතිඵල ලැබෙයි. මිනිස්සු දැන් විශ්වාස කරනවා බංග්ලාදේශ ක්‍රීඩකයන්ට ලෝකෙ අනිත් ඕනෑම කණ්ඩායමක් සමගින් තරග කර දිනන්න පුළුවන් කියන කාරණය'' හෙතෙම පවසයි.
මේ අතර සිය කණ්ඩායමේ ශක්තිය පිළිබඳවද අදහස් දැක්වූ මුෂ්ෆිකර් පවසන්නේ, ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු යැවීමෙන් දැඩි පීඩනයක් එල්ල කිරීමට බලාපොරොත්තු වන බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ විශේෂඥ දඟ පන්දු යවන්නා වන රංගන හේරත් පිළිබඳවද මෙහිදී අදහස් දැක්වූ මුෂ්ෆිකර් පැවසුවේ, රංගන හේරත් යනු ලොව සිටින දක්ෂතම පන්දු යවන්නෙකු බවයි.
"ඔහුට (රංගන හේරත්) මුහුණදීමට සැලසුම් තිබෙනවා. අපේ සමහර පිතිකරුවන් දැනටමත් ඔහුට මුහුණදී තිබෙනවා. ඔහුගේ අභියෝගය සාර්ථක කරගන්න දැනටමත් අපිට අදහස් තිබෙනවා" හෙතෙම පවසයි.