ශ්‍රී ලංකා වයස 19 පහළ කණ්ඩායම හා සංචාරක පාකිස්තානු වයස 19 පහළ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති පළමු තුන්දින ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද (06දා) අවසන් විය.
පසුගිය ඉරිදා (04දා) ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 347/9 ක් රැස්කර ඉනිම අත්හිටුවීය. ඉනිම නගා සිටුවීම වෙනුවෙන් විශිෂ්ට කාර්යභාරයක් ඉටුකළ නායක චරිත් අසලංක ද්විත්ව ශතකයකින් (200) ඉනිම ශක්තිමත් කළේය. කෙසේ නමුත් ඔහු හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවෙකුට අර්ධ ශතකයකින් හෝ ශ්‍රී ලංකා ඉනිමට දායක විය නොහැකි විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තාන කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 209 ක් පමණි. උමර් මක්සූඩ් (102) පාකිස්තානය වෙනුවෙන් පිත්තෙන් දක්ෂතා දැක්වීය.
ඉන් අනතුරුව නැවතත් දෙවැනි ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 211 /3 ක් රැස්කර ඉනිම අත්හිටුවීය. මෙම ඉනිමේදී අවිශ්ක ප්‍රනාන්දු (63) හා සම්මු අශාන් (54) අර්ධ ශතක රැස්කරමින් දක්ෂතා දැක්වූහ.
ඒ අනුව පාකිස්තානු කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 350ක ඉලක්කයක් හිමිවූ අතර, කෙසේ නමුත් දිනය නිමාවන විට කඩුලු 03ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 142 ක් පමණි.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව