ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සම්බන්ධ කරගැනීම තමන්ට ඉතා ගෞරවයක් බවත් ශ්‍රී ලංකාව වඩාත්ම සිය හදවතට ළංවූ රටක් බවත් හිටපු පාකිස්තානු ටෙස්ට් නායක හා වේගපන්දු යවන ක්‍රීඩක වසීම් අක්රම් මහතා පැවසීය.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ (01දා) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම අදහස් දැක්වීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වසීම් අක්රම් මහතා පැවසුවේ, ශ්‍රී ලංකා ක්‍රිකට්වල වේගපන්දුවෙන් දීප්තිමත් අනාගතයක් ඇති බවයි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, "මේක මට කරපු ලොකු ගෞරවයක්. ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සම්බන්ධ වෙන්න ලැබීම. ළාබාල ක්‍රීඩකයෙක් විදිහට 1988 වසරේ ඉඳන් මම ලංකාවට ඇවිල්ලා මිහිරි මතක රාශියක් තිබෙනවා. ලංකාවේ මිනිස්සු ක්‍රිකට්වලට කැමතියි. ඔවුන්ගේ ක්‍රිකට් විරුවන්ට ඔවුන් කැමතියි. ශ්‍රී ලංකා ක්‍රිකට් මම දකින විදිහට හොඳ පාලනයක් යටතේ තියෙන්නේ. ශ්‍රී ලංකාව කියන්නෙ මගේ හදවතට ළඟා වෙච්ච හොඳම රටක්" යැයි පැවසීය.
වසීම් අක්රම් ඊයේ (01) උදෑසන ශ්‍රී ලංකා ජාතික, ශ්‍රී ලංකා 19න් පහළ, ශ්‍රී ලංකා සංවර්ධන යන කණ්ඩායම්වල වේගපන්දු යවන්නන්ට හා ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරුවන්ට වැඩමුළුවක් පැවැත්වූ අතර, ඒ පිළිබඳවද මෙහිදී අදහස් දක්වා සිටියේය.
"මම සභාපතිතුමාගේ ඉල්ලීම මත පන්දුයවන්නන් පුහුණු කිරීමේ සැසියකට සහභාගි වුණා. මාලිංග, කුලසේකර වැනි විශිෂ්ට පන්දු යවන්නන්ද ඒ සඳහා එක්වුණා. මම පුහුණුකරුවෙක් විදිහට අද දැක්කෙ ශ්‍රී ලංකාවට වේගපන්දු යවන්නන්ගෙන් හොඳ දීප්තිමත් අනාගතයත් තිබෙනවා. ඔවුන්ට ක්‍රීඩාව ගැන ආශාව හා හැකියාව තිබෙනවා. ඒක ශ්‍රී ලංකාවේ වේග පන්දුව ගැන හොඳ ඉඟියක්.
මම ශ්‍රී ලංකාවෙ වේගපන්දු යවන්නන්ගෙන් දැක්කෙ ඔවුන්ගේ පන්දුවේ හොඳ වේගයක් තිබෙනවා. පැයට කි.මී. 130ක්, 140ක් විතර. නමුත් වේගය තිබ්බට මදි, පිතිකරුවෙකුට පන්දු යැවිය යුතු ආකාරයක් තිබෙනවා. මන්දගාමී තණතිලිවලදීත් පන්දුයවන්නන් පිතිකරුවන් දවා ගන්න ඕන. මගේ අදහස නම් ඔවුන්ට (පන්දු යවන්නන්ට) තමන්ගෙ ආත්ම විශ්වාසය වැඩිකරගැනීමට හා පිතිකරුවන් දවාගැනීමට ඉලක්ක ගත විය යුත්තේ කොහොමද කියල ඉගැන්විය යුතුයි. විශේෂයෙන් වේග පන්දු යවන්නෙකුගෙ වේගයත් එක්ක දෝලනයත් තිබිය යුතුයි" යනුවෙන් පැවසීය.
කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයන්ගේ වත්මන් වයස් සීමාවලදී ඔවුනගේ පන්දු යැවීම සම්පූර්ණයෙන් වෙනස් කළ හැකි යැයි තමන් විශ්වාස නොකරන බවත්, එය සිදු කළ හැක්කේ අවුරුදු 16න් හෝ 17න් පහළ අවධියේදී බවත් අක්රම් මහතා වැඩිදුරටත් පැවසීය.
ඡායාරූප - සමීර විජේසිංහ