නව ශ්රී ලංකා වාර්තා හයක් බිහි කරමින් මෙවර ආසියානු මළල ක්රීඩා තේරීම් තරග ඊයේ (09 දා) හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩා පිටියේදී නිමාවට පත්විය.
තරගාවලියේදී නව ශ්රී ලංකා වාර්තා පහක් ඊයේ (09) බිහිවූ අතර ඒ අතරට කාන්තා තුන් පිම්ම, කාන්තා මිටිය විසි කිරීම, කාන්තා මීටර් 800 , පිරිමි දසප්රයාම හා කාන්තා මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වලින් බිහිවූ නව වාර්තා ඇතුළත්ය.
මෙහිදී කාන්තා තුන් පිම්ම ඉසව්ව නියෝජනය කළ විදූෂා ලක්ෂානි මීටර් 13.64 ක දක්ෂතාවක් වාර්තා කළ අතර එහිදී ඇය විසින් බිඳදැමුවේ 2015 වර්ෂයේදී ඇය විසින්ම පිහිටවූ මීටර් 13.49 ක දක්ෂතාවකි. එමෙන්ම කාන්තා මිටිය විසිකිරීමේ ඉසව්වේදී මීටර් 47.92 ක දුරක් වාර්තා කළ ගුවන් හමුදාවේ අයේෂා මධුවන්ති මෙහිදී අලුත් කළේ පසුගිය (2016) වර්ෂයේදී ඇය විසින් මීටර් 44.14 ක දුරක් වාර්තා කරමින් පිහිටුවා තිබූ වාර්තාවයි.
මේ අතර තරගාවලියේ සිදුවූ විශේෂිත සිදුවීමක් ලෙසින් මීටර් 800 අවසන් තරගයට සහභාගි වූ නාවික හමුදාවේ ගයන්තිකා අබේරත්න මිනිත්තු 2.තත්පර 2.55 කින් තරගය නිමා කරමින් නව ශ්රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර මෙහිදී ඇය විසින් බිඳ දැමුවේ ගුවන් හමුදාවේ නිමාලි ලියනාරච්චි විසින් 2016 වර්ෂයේදී පිහිටවනු ලැබූ මිනිත්තු 2.03.5 ක වාර්තාවයි. කෙසේ වෙතත් මෙම තරගයේදී නිමාලි විසින් ගයන්තිකාට කරට කර තරගයක් ලබාදෙමින් මිනිත්තු 2 තත්පර 02.58 කින් තරගය නිමා කිරීමට සමත්විය.
මේ අතර පිරිමි දසප්රයාම අවසන් තරගයට සහභාගි වූ යුද හමුදාවේ පී.කේ.කරුණාතිලක එහිදී සමස්ථ ලකුණු 6884 ක් හිමිකර ගනිමින් නව ශ්රී ලංකා වාර්තාවක් පිහිටවූයේය.
එමෙන්ම මීටර් 3000 කාන්තා බාධක දිවීමේ අවසන් තරගයට සහභාගි වූ යුද හමුදාවේ නිලිනි රත්නායක මිනිත්තු 10.තත්පර 03.94 කින් තරගය නිමා කරමින් බිඳ දැමූවේ 2015 වර්ෂයේදී ඇය විසින්ම පිහිටවූ තත්පර 10.09.49 ක වාර්තාවයි.
මේ අතර පෙරේදා (08) ආරම්භ වූ තරගාවලියේ පළමු දිනයේ දී ශ්රී ලංකා වාර්තාවක් පිහිටුවීමට කාන්තා උස පැනීමේ ඉසව්ව නියෝජනය කළ ශ්රී ලංකා පාසල් කණ්ඩායමේ අනීතා ජගතේෂ්වරන් සමත් වූයේ එහි අවසන් තරගයේදී මීටර් 3.45 ක දක්ෂතාවක් වාර්තා කරමිනි.
මීට පෙර ඇය විසින්ම 2015 වර්ෂයේදී මිටර් 3.41 ක උසක් වාර්තා කරමින් මීට පෙර මෙම වාර්තාව අලුත් කිරීමට සමත් වී තිබිණ.
මේ අතර තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ සුවිශේෂි දක්ෂතාවක් පෙන්නුම් කිරීමට යුධ හමුදාව නියෝජනය කළ වරුණ ලක්ෂාන් සමත් වූ අතර ඔහු එහි අවසන් තරගයේදී මීටර් 80 සීමාව අභිබවා යමින් මීටර් 82.19 ක දුරක් වාර්තා කිරීමට සමත්විය. වත්මන් ශ්රි ලංකා වාර්තාව වූ 2015 වර්ෂයේදී සුමේධ රණසිංහ විසින් පිහිටුවන ලද මීටර් 83.04 ක දුරට පමණක් මෙය දෙවැනි වූ අතර ශ්රී ලංකා ක්රීඩකයෙකු මීටර් 80 සීමාව ඉක්මවූ දෙවැනි අවස්ථාව ලෙසින් ද මෙය සනිටුහන් විය.
පුරා දින දෙකක් (8,9) හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩා පිටියේදී පැවති මෙම තරගාවලියට ක්රීඩක ක්රීඩිකාවන් 1200 ක ප්රමාණයක් සහබාගි වූ අතර මේ වසරේ ඉන්දියාවේදී පැවැත්වෙන 22 වැනි ආසියානු මළල ක්රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් ලෙසින්ද මෙය පැවැත්වේ.