සංචාරක ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායම පරාජය කර හෝබාට්හිදී ඊයේ (18දා) පැවති තරගාවලියේ තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 102ක දැවැන්ත ජයක් ලැබීමට සත්කාරක ඔස්ට්‍රේලියානු වයස 19න් පහළ කණ්ඩායම සමත්විය.
කිංග්ස්ටන් ට්වින් ඔවල්ස් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ලකුණු 252ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දුවාර 32.4කදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 149ක් පමණි.
මෙහිදී හුදෙකලා සටනක නිරතවූ ජෙහාන් ඩැනියල් නොදැවී ලකුණු 55ක් රැස්කිරීමට සමත්විය. පන්දු 84කදී ගොඩනැගුණු ජෙහාන්ගේ ඉනිමට හතරේ පහර 05ක් ඇතුළත් විය. මීට අමතරව හසිත බෝයගොඩ ලකුණු 15ක් රැස්කළ අතර, ඒ හැරෙන්න වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 15 සීමාව හෝ ඉක්මවීමට නොහැකිවිය. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් සාර්ථක පන්දුයැවීමක නිරත වූ රයන් හැඩ්ලි ලකුණු 61කට කඩුලු 04ක් දවාලීමට සමත්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 07ක් දැවී ලකුණු 251ක් රැස්කිරීමට සමත්විය. ඉනිම ඔසවා තැබූ ජැක් එඩ්වඩ්ස් ලකුණු 95ක් රැස්කළේය.
හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් නායක ස්ට්ව් වෝගේ පුත් ඔස්ටින් වෝ මෙම තරගයට ක්‍රීඩාකළ අතර, ඔහු නොදැවී ලකුණු 40ක් රැස්කිරීමට සමත්විය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් හොඳම පන්දුයැවීම සනිටුහන්කළ ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 56කට කඩුලු 02ක් දවාලීමට සමත්විය.
තරගයේ වීරයා ලෙස පිත්තෙන් දස්කම් දැක්වූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ජැක් එඩ්වඩ්ස් සම්මාන දිනාගත්තේය. මෙම ජයග්‍රහණයත් සමග තරග පහකින් යුත් එක්දින තරගාවලිය, තරග 2-1ක් ලෙස ඔස්ට්‍රේලියාව පෙරමුණේ පසුවෙයි.
ඔස්ට්‍රේලියාව 251/7 (පන්දුවාර 50)
ජැක් එඩ්වඩ්ස් 95, විල් සදර්ලන්ඩ් 49, ඔස්ටින් වෝ නොදැවී 40, රයන් හැකිනි 39, ප්‍රවීන් ජයවික්‍රම 2/56, කමිඳු මෙන්ඩිස් 1/17
ශ්‍රී ලංකාව 149/10 (පන්දුවාර 32.4)
ජෙහාන් ඩැනියෙල් නොදැවී 55, හසිත බෝයගොඩ 15, විශ්ව චතුරංග 10, රයන් හැඩ්ලි 4/61, ලොයිඩ් පෝප් 3/46