බංග්ලාදේශයේදී ආරම්භවීමට නියමිත ආසියානු කුසලාන විස්සයි20 තරගාවලිය හා ඉන්දියාවේදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ (18දා) කටයුතු කරනු ලැබීය. මෙම සංචිතයවල නායකත්වය ලසිත් මාලිංගට හිමිව තිබෙන අතර උපනායක ලෙස ඇන්ජලෝ මැතිව්ස් නම් කර තිබේ.
ශෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ජෙෆ්රි වැන්ඩසේ, දුෂ්මන්ත චමීර කණ්ඩායමට නම් කර තිබේ. ඔවුහු ජාත්‍යන්තර පිටියට නවක ක්‍රීඩකයන් නොවන අතර, සියල්ලන්ම ජාත්‍යන්තර පිටියේ අවම වශයෙන් විස්සයි20 තරගයකට හෝ ක්‍රීඩා කර තිබේ. බැලූ බැල්මට සමබර කණ්ඩායමක් සංචිතයට නම් කර තිබෙන අතර කණ්ඩායමේ අවසන් 11 දෙනාට පිවිසීමට ක්‍රීඩකයන් අතර තරගයක් නිර්මාණය වී තිබේ.
එය කණ්ඩායමට හොඳ තත්ත්වයකි. තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම ආරම්භ කිරීමේදී ඩිල්ෂාන්ගේ සහායකයා වන්නේ කවුරුන්ද යනුවෙන් ගැටලුවක් නිර්මාණය වී තිබේ. නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට ඇතුළත් හෙයින් ඔහු ආරම්භක පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට පැමිණියහොත් ගැටලුවක් වන්නේ චන්දිමාල්ගේ හෝ කපුගෙදරගේ ස්ථානයන්ටය.
පවතින තත්ත්වය අනුව දික්වැල්ලට කණ්ඩායමේ ස්ථානයක් වෙන්ව තිබෙන බව පැහැදිලිය. ඔහු කඩුලු රකින ක්‍රීඩකයෙකු වීම කණ්ඩායමේ ස්ථානය තහවුරු කරගැනීමට අවස්ථාවකි. පළමු කඩුල්ලෙන් පසුව පිටියට පිවිසෙන්නේ චන්දිමාල් නම් ෂෙහාන් ජයසූරියට කණ්ඩායමේ ස්ථානය තහවුරු කරගැනීමට සටනක් දීමට සිදුවෙයි.
වේගපන්දු යවන්නන් තිදෙනෙකුගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් තිබෙන අතර මාලිංග, කුලසේකර හා චමීර නිත්‍ය වේග පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක්වෙනු ඇත. තිසර හා දසුන්ද කණ්ඩායමට ඇතුළත් හෙයින් ඔවුන් දෙදෙනා අතරද කණ්ඩායමේ ස්ථානයක් වෙනුවෙන් සටනක් නිර්මාණය වී තිබේ. කෙසේ වෙතත් තිසර හා සැසඳීමේදී දසුන් ඉදිරියෙන් සිටියි. අප දිගින් දිගටම පවසන පරිදි මෙම තරගාවලියේදී හෝ තිසර ආරම්භක පිතිකරුවෙකු ලෙස යොදාගැනීමට හැකිවේ නම් එය වෙනසක් කිරීමට අවස්ථාවක් වෙයි. එවිට දික්වැල්ල කණ්ඩායමේ නැතිවූවා යැයි කියා ගැටලුවක් අැති නොවේ.
ඒ චන්දිමාල් හා කපුගෙදර කඩුලු රකින්නන් ලෙස කටයුතු කරන හෙයිනි. කණ්ඩායමේ දඟ පන්දු යවන්නා වෙනුවෙන් වැන්ඩසේ, රංගන හා සචිත්ර අතර තේරීමක් කිරීමට සිදුවන අතර සචිත්‍රට පිත්තෙන් යමක් කළ හැකි නිසා වැන්ඩසේට හා හේරත්ට වඩා අමතර වාසියක් ඔහුට තිබේ. එසේම අවශ්‍ය විටදී සිරිවර්ධන හා ඩිල්ෂාන්ද දඟ පන්දු යවන්නනෝ ලෙස කටයුතු කරති.
ඩිල්ෂාන්, නිරෝෂන්, චන්දිමාල්/ෂෙහාන්, කපුගෙදර, මැතිව්ස්, සිරිවර්ධන, දසුන්/තිසර, කුලසේකර, රංගන/වැන්ඩසේ, මාලිංග, චමීර යනු සමබර කණ්ඩායමකි. කෙසේ වෙතත් කණ්ඩායම තෝරාගත යුතුවන්නේ එදින පවතින විකට්ටුව පිළිබඳව අවධානය යොමුකරමින් විය යුතුය.
ඉන්දීය තරගාවලියට එක්වූ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට කණ්ඩායමේ ස්ථානය අහිමිව තිබෙයි. ඒ අනුව දිල්හාර ප්‍රනාන්දු, සීක්කුගේ ප්‍රසන්න, ධනුෂ්ක ගුණතිලක, කසුන් රජිත, බිනුර ප්‍රනාන්දු, අසේල ගුණරත්න යන ක්‍රීඩකයන්ට ලෝක කුසලානයේදී හා ආසියානු කුසලාන තරගාවලියේදී සංචිතයේ ස්ථානය අහිමිව තිබේ. ආබාධයක් හේතුවෙන් එම තරගාවලියට ක්‍රිඩා නොකළ නායක ලසිත් මාලිංග, උපනායක ඇන්ජලෝ මැතිව්ස් හා නුවන් කුලසේකරට අමතරව ශෙහාන් ජයසූරිය, රංගන හේරත් කණ්ඩායමට පැමිණ තිබේ.
එසේම නිරෝෂන් දික්වැල්ලට හා දිනේෂ් චන්දිමාල්ට වඩා විස්සයි 20 පිටියේදී එසේත් නොමැතිනම් පළමුපෙළ විස්සයි20 තරගවලදී ඉදිරියෙන් සිටින ළහිරු තිරිමාන්නට කණ්ඩායමේ ස්ථානය අහිමිව තිබේ. ඔහු කණ්ඩායමට එක් කර ගත්තානම් ආරම්භක පිතිකරණයේ ගැටලුවක් ඇති නොවීමටත් අවස්ථාවක් තිබුණි.
ආසියානු හා ලෝක කුසලාන සංචිතය - ලසිත් මාලිංග (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උපනායක), දිනේෂ් චන්දිමාල්, තිලකරත්න ඩිල්ෂාන්, නිරෝෂාන් දික්වැල්ල, ශෙහාන් ජයසූරිය, මිලින්ද සිරිවර්ධන, දසුන් ශානක, චාමර කපුගෙදර, ණුවන් කුලසේකර, දුෂ්මන්ත චමීර, තිසර පෙරේරා, සචිත්ර සේනානායක, රංගන හේරත්, ජෙෆ්රි වැන්ඩසේ