ජවේරියා ඛාන්ගේ ශතක ඉනිමත්, සානා මිර්ගෙන් ජවේරියාට ලැබුණු සහායත් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් තුන්වැනි එක්දින තරගයෙන්ද කඩුලු 7 ක පහසු ජයක් ලැබීමට සත්කාරක පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.
ලකුණු 118 ට කඩුලු තුනක් දැවී තිබියදී පිටියට පිවිසි සානා මීර් හා සාර්ථක සබඳතාවක් ගොඩනැගීමට ආරම්භක පිතිකාරිනී ජාවේරියා ඛාන් සමත් වූවාය. ඔවුහු සිවුවැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 127ක සබඳතාවක් ගොඩනැගූහ. ඒ අනුව තරගාවලියේ ජය 3-0 ක් ලෙස පාකිස්තාන ක්‍රීඩිකාවෝ හිමිකරගත්හ. තරගයේ වීරවරිය ලෙස ජවේරියා ඛාන් සම්මාන ලැබීය.
තරගාවලිය ආරම්භ කරමින් පසුගිය සිකුරාදා (09දා) මුහුණදුන් පළමු තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 05 ක පරාජයක් අත්විඳි අතර, දෙවැනි තරගයෙන්ද ලකුණු 12 ක පරාජයක් ලැබීය.
සාජා ක්‍රිකට් පිටියේ ඊයේ (13දා) පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 242 ක් රැස්කිරීමට සමත්විය. ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් එක්කළ නායිකා චමරි අතපත්තු පන්දු 109 කදී ලකුණු 99 ක් රැස්කරගෙන සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියාය. ඇයට අමතරව හිටපු නායිකා ශෂිකළා සිරිවර්ධන නොදැවී ලකුණු 39 ක් හා ආරම්භක පිතිකාරිනී ප්‍රසාදිනී වීරක්කොඩි ලකුණු 32 ක් රැස්කළහ.
ලෝක කාන්තා ක්‍රිකට් ශූරතාවලිය ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය, දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් අතර පැවැත්වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙහි පළමු අදියරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පසුගිය ඔක්තෝබර් මස ශ්‍රී ලංකාවේදී තරග වැදුණු අතර, එම තරගාවලිය තරග 1-1 ක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් විය.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙම තරගාවලියේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම වන අතර, තරග හයකට මුහුණදී සිටින ඔවුන් එම තරග සියල්ල ජයගෙන ඇත.
ශ්‍රී ලංකාව 242/5 (පන්දුවාර 50)
චමරි අතපත්තු 99 (පන්දු 109, 4X10, 6X2)
ශෂිකලා සිරිවර්ධන 39* (පන්දු 28, 4X1, 6X2)
ප්‍රසාදිනී වීරක්කොඩි 32 (පන්දු 68, 4X3)
අස්මාවියා ඉක්බාල් 2/43 (පන්දුවාර 9)
සානා මිර් 2/35 (පන්දුවාර 10)
පාකිස්තානය 245/3 (පන්දුවාර 47.2)
ජවේරියා ඛාන් 133* (පන්දු 141, 4X12)
සානාර මීර් 51* (පන්දු 68, 4X2)
බිස්මා මාරුෆ් 26 (පන්දු 40, 4X2)
ශෂිකලා සිරිවර්ධන 2/33 (පන්දුවාර 6)
චමරි පොල්ගම්පොල 1/15 (පන්දුවාර 4)