ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය අද (31දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ බවත්, එමනිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පත්මසිරි මහතා පත්කළ බව ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය. ක්‍රීඩා අමාත්‍යාංශයේ අද (31දා) පස්වරුවේ විශේෂ මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය අද (31දා) පැවැත්වීමට නියමිතව තිබුණද, අධිකරණ නියෝගයක් හේතුවෙන් කල්දැමිණි. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් මෙතෙක් පැවතින නිළධාරි මණ්ඩලයේ ධුර කාලය අවසන් වේ.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලවරණය අත්හිටුවනු ලැබුවා. කෙසේ නමුත් නිලවරණය අත්හිටුවූවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් දිගින් දිගට ක්‍රියාත්මක විය යුතුයි. සමහර අය කිවුවා අතුරු පාලක මණ්ඩලයක් පත්කරන්න ඕන කියලා. නමුත් නිලවරණය අත්හිටුවූ අවස්ථාවකදී අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීමේ නීතිමය හැකියාවක් නැහැ. ඒත් ක්‍රීඩා පනත අනුව මට බලය තියෙනවා බලයලත් නිලධාරියෙක් පත්කරන්න. ඒ නිසා ක්‍රීඩා විශය භාර ඇමති විදියට මම තීරණය කළා මගේ අමාත්‍යාංශයේ ලේකම්, කමල් පත්මසිරි මහතා මේ සඳහා පත්කරන්න“යනුවෙන් පැවසීය.