එංගලන්තයේ ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (13දා) දිවයිනෙන් පිටත්ව ගියේය.
ඉනෝකා රණවීරගේ නායකත්වය යටතේ ලෝක කුසලානය සඳහා තරගවැදීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම දින පහක පෙර පුහුණු වැඩසටහනක් සඳහා තරගාවලියට දින කිහිපයකට ප්‍රථමයෙන් දිවයිනෙන් පිටත් වූ අතර, එහිදී පෙර පුහුණු තරග 04කට ඔවුන් සහාභාගි වීමට නියමිතය.
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගවලින් රටවල් 10ක් අතරින් තෙවැනි ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය මේ මස 24 වැනිදා නවසීලන්තයට එරෙහිවද, දෙවැනි තරගය 29 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිවද එංගලන්තයේ බ්රිස්ටෙල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
එමෙන්ම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව හමුවේ ප්‍රබල අභියෝගයක් වූ ඉන්දීය කණ්ඩායම සමග තරගය ජූලි මස 05 වැනිදා ඩර්බිහිදී පැවැත්වේ. පළමු වටයේ අවසන් තරගය දකුණු අප්‍රිකාව සමග ජූලි 12 වැනිදා පැවැත්වීමට නියමිත අතර, තරගාවලිය මෙම මස 24 සිට ජූලි 23 වැනිදා දක්වා පැවැත්වේ.
මේ සඳහා ශ්‍රී ලංකාවට අමතරව ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්වන් සහාභාගි වීමට නියමිතය.
තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පෙරේදා (12දා) කොල්ලුපිටිය මූවන්පික් හෝටලයේදී පැවැති අතර, එහිදී ප්‍රධාන පුහුණුකරු වන හේමන්ත දේවප්‍රිය මහතා වැඩිදුර අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, තමන් අපේක්ෂා කළ මට්ටමට වඩා ප්‍රගතියක් කණ්ඩායම තුළින් දැකගත හැකි වූ බවයි.
මෙම මාධ්‍ය හමුව සඳහා සහාභාගි වූ ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා, ජාතික කණ්ඩායමේ තාක්ෂණික, පුහුණු කටයුතු යනාදිය වර්ධනය කරමින් සිටින අවස්ථාවක, කණ්ඩායමේ නව වෙනසක් සිදුකළ යුතුයි යන්න මත පිහිටා ප්‍රධාන පුහුණුකරු වශයෙන් හේමත්න දේවප්‍රිය සහ සහාය පුහුණුකරු වශයෙන් ඕෂදී වීරසිංහ මහතාට ඇරයුම් කළේ කණ්ඩායමේ ආරම්භයේ සිට ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට යැයි ප්‍රකාශ කළේය.
අපට බොහෝ පැතිකඩයන් ඔස්සේ ඉදිරියට යෑමේ අවශ්‍යතාව තිබුණා
- ප්‍රධාන පුහුණුකරු හේමන්ත දේවප්‍රිය
දැනට මාස 07ක පමණ කාලයක් සිට පුහුණුවීම් අදියර දෙකකට තමයි මේ ගමන සැලසුම් කළේ. සුදුසුකම් ලබාගැනීම වගේම ලෝක කුසලාන තරගාවලියේදී මුහුණ දෙන්නේ කවර අයුරින්ද යන්න මෙහිදී ඇතිවූ ප්‍රධාන අභියෝග දෙකයි. ඒ අනුව වැඩිදියුණු කරගත යුත්තේ කුමන දේවල් පිළිබඳවද යන්න මනා අවබෝධයක් තිබුණා. අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩිකාවන් සන්සන්දනය කිරීමේදී අපට බොහෝ පැතිකඩයන් ඔස්සේ ඉදිරියට යෑමේ අවශ්‍යතාව තිබුණා. පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ඒ ඒ පරිසර තත්ත්වයන්ට ගැළපෙන අයුරින් පුහුණුවීම් සිදුකළා.
තරගාවලියේදී ලොකු දෙයක් කිරීමට කණ්ඩායමක් වශයෙන් අපේක්ෂා කරනවා
- නායිකා ඉනෝකා රණවීර
ශ්‍රී ලංකා නාමය වෙනුවෙන්, රට නියෝජනය කරමින් ලොකු දෙයක් කිරීමට කණ්ඩායමක් වශයෙන් අපි අපේක්ෂා කරනවා. සුදුසුකම් ලැබීමේ තරගවලින් සමත්ව ලෝක කුසලාන තරගාවලියට සහාභාගි වීමේ අවස්ථාව අප හිමිකර ගත්තා. අපි අතර කණ්ඩායමක් වශයෙන් ලොකු එකමුතුකමක් තිබෙනවා.
ඒ වගේම ලෝක කුසලාන තරග පිළිබඳ ලොකු වගකීමක් කණ්ඩායමේ සෑම ක්‍රීඩිකාවකටම දැනුණු දෙයක්. පල්ලෙකැලේ තිබූ පුහුණුවීම් මගින්ද බොහෝ අත්දැකීම් ලබාගැනීමට හැකිවුණා. අපේ ලොකුම අරමුණ මෙම තරගාවලියේ හොඳම කණ්ඩායම් 04 අතරට පැමිණීමයි.
ශ්‍රී ලංකා සංචිතය
ඉනෝකා රණවීර (නායක), ප්‍රසාදනී වීරක්කොඩි (උපනායක), ශෂිකලා සිරිවර්ධන, චාමරි අතපත්තු, එෂානි ලොකුසූරිය, ඩිලානි මනෝදරා, උදේශිකා ප්‍රබෝධනී, නිපුනි හංසිකා, හසිනි පෙරේරා, ඕෂධි රණසිහ, හෂිතා මාදවී, අමා කාංචන, චාමරි පොල්ගම්පොළ, චන්දිමා ගුණරත්න
අතිරේක ක්‍රීඩිකාවන්
ඉනෝෂි ප්‍රනාන්දු, හංසිමා කරුණාරත්න, මධුෂිකා මෙත්තානන්ද, අනුෂ්කා සංජීවනී, සුගන්ධිකා කුමාරි
ඡායාරූප - ඉසුරු පෙරේරා