නිමාවූ දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමේදී දැක්වූ දුර්වලතාවට පිළියම් සොයාගත යුතු බවත්, ශ්‍රී ලංකාව සෑම අවස්ථාවකම මව්බිම තුළදී දක්වන දක්ෂතා බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේදීත් දැක්වීමට සමත්වුවහොත් තරගාවලිය ජයගැනීම අපහසු නොවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ග්රහැම් ෆෝඩ් මහතා පැවසීය.
ඔහු මේ බව අනාවරණය කළේ ඊයේ (28දා) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැති තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදීය.
“අපිට මෙම තරගාවලිය ඇත්තෙන්ම අභියෝගාත්මක තරගාවලියක්. ඒ මන්දයත් මීට පෙර 2013/2014 වසරේ බංග්ලාදේශය ශ්‍රී ලංකාවට පැමිණෙන විට තියුණු තත්ත්වය නොවෙයි කණ්ඩායම් දෙකේම අද තිබෙන්නෙ. ශ්‍රී ලංකා කණ්ඩායමටත් අලුත් මුහුණු එකතු වී තිබෙනවා. ඒ නිසා මෙම තරගාවලිය ඉතා හොඳ තරගාවලියක් වෙවි යැයි මා විශ්වාස කරනවා. අපි දන්නවා අපේ ප්‍රතිවාදීන්ගේ තිබෙන දක්ෂතා හා දුර්වලතා. අපි මව්බිමේදී දක්වන සුපුරුදු දක්ෂතා මෙම තරගාවලියේදීත් දැක්වුවහොත් අපිට ජයගන්න පුළුවන් වේවි" යැයි ශ්‍රී ලංකා පුහුණුකරුවා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි බංග්ලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසා සිටියේ, බංග්ලාදේශයේ ක්‍රිකට් ක්‍රීඩාව කොතරම් දුරට දියුණු වී ඇත්ද යන්න පෙන්වීමට මෙම සංචාරය මහඟු අවස්ථාවක් බවයි.
"බංග්ලාදේශයට ටෙස්ට් තරග වැඩිපුර ලබාදී ශ්‍රී ලංකාව ගොඩක් හොඳ සහායක් දක්වා තිබෙනවා. මෙම තරගාවලියට අපි කණ්ඩායමක් වශයෙන් හොඳින් සූදානම්ව ඉන්නවා. බංග්ලාදේශය ලංකාවට පැමිණි සෑම අවස්ථාවකම අපිට ක්‍රීඩා කිරීම දුෂ්කර වුණා. විශේෂයෙන් ටෙස්ට් ක්රිකට්වලදී. එහෙත් අපි පසුගිය කාලය පුරා ඉතා හොඳින් ක්‍රීඩා කළා. ශ්‍රී ලංකාවෙන් 90 දශකයේදී වගේ හිටියේ අද බංග්ලාදේශය ඉන්න තත්වයෙයි. ඒ නිසා අපිට මේ වනවිට පුළුවන් වෙලා තිබෙනවා බංග්ලාදේශයේ ක්‍රිකට් කොතරම් දියුණුවෙලා තිබෙනවාද යන්න පෙන්වීමට" යැයි සඳහන් කර සිටියේය.
මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා , ප්‍රධාන විධායන නිලධාරී ඇෂ්ලි ද සිල්වා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප - ක්‍රිශාන් රණසිංහ