ඉන්දියාවේ පැවැත්වෙන 06 වැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නව දිල්ලිහි ෆෙරෝෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ තරග පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා (21දා) රාත්‍රියේ නවදිල්ලි නුවරට පැමිණියේය.
ශ්‍රී ලංකා කණ්ඩායම අද (23දා) පෙරවරුවේ පළමු පුහුණු සැසියට සහභාගි වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ජෙරොම් ජයරත්න මහතා පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 26 වැනිදා එංගලන්තයට එරෙහිවද, 28 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිවද පළමු වටයේ අවසන් තරග දෙකට සහභාගි වීමට නියමිතය.
මෙම තරග දෙක වෙනත් ක්‍රීඩාංගණයකට මාරු කිරීමේ සූදානමක් පවතින බවට ආරංචි පැතිර ගියද, ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු පැවසුවේ එම තරග දෙකේ වෙනසක් පිළිබඳව මේ දක්වා තමන් දැනුවත් කර නොමැති බවයි.
ශ්‍රී ලංකා කණ්ඩායමට පහසුවෙන් අවසන් පූර්ව තරගයට පැමිණීමට නම් මෙම තරග දෙකම ජය ලැබිය යුතු තත්ත්වයක් මේ වනවිට නිර්මාණ වී තිබේ. ශ්‍රී ලංකාව ශුද්ධ ලකුණු වේගයෙන් හෝ අවසන් පූර්ව තරගයට පැමිණීමට නම් එම තරග දෙකෙන් එකක් ජය ලැබිය යුතු තත්ත්වයක් නිර්මාණය වී ඇත.
ෆෙරෝෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ ආර්.පී. මෙහෙරා ප්‍රේක්ෂකාගාරය පිළිබඳව උද්ගත වී ඇති ව්‍යාකූල තත්ත්වයක් හේතුවෙන් මේ මස 30 වැනිදා පැවැත්වීමට නියමිත පළමු අවසන් පූර්ව තරගය වෙනත් ක්‍රීඩාංගණයකට මාරු කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වනවිට සාකච්ඡා කරමින් සිටියි.
ෆෙරෝෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ පැරණිතම ක්‍රීඩාගාරය වන ආර්.පී. මෙහරා ප්‍රේක්ෂකාගාරයේ පෞරාණික වටිනාකම පිළිබඳව අවධානය යොමු කරමින් දිල්ලි මහාධිකරණය නිකුත් කර ඇති නියෝගයක් මෙම තත්ත්වයට හේතු වී තිබේ.
එම තීන්දුවට අනුව ආසන 1800කින් යුත් ආර්.පී. මෙහරා ප්‍රේක්ෂකාගාරයේ ප්‍රවේශපත් අළෙවි කළ නොහැකි වීමෙන් තරගය පැවැත්වෙද්දී එම ප්‍රේක්ෂකාගාරය හිස්ව තැබීමට සිදු වී තිබේ. තවද එම ප්‍රේක්ෂකාගාරය ඉදිරිපස ප්රචාරක පුවරු ප්‍රදර්ශනය කිරීමද අධිකරණයෙන් අත්හිටුවා තිබේ.
මෙම තත්ත්වය මත ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව තරගයක් ප්‍රේක්ෂකාගාරයක් හිස්ව තිබියදී පැවැත්විය නොහැකිය යන මතයේ අන්තර්ජාතික ක්‍රිකට් සභාව පසුවෙයි.
න්තර්ජාතික ක්‍රිකට් සභාව පවසන්නේ අවසන් පූර්ව තරගය වෙනත් ක්‍රීඩාංගණයකට මාරු කරන්නේ නම් මේ මස 28 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයද මාරු කළ යුතු බවයි.
ඒ එම තරගයට සහභාගි වන කණ්ඩායමක් පළමු අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවහොත් එම කණ්ඩායමට 30 වැනිදා තරගය තිබියදී පෙරදින දිල්ලි සිට තරගය පැවැත්වෙන ප්‍රදේශයට ගුවනින් ගමන් කිරීමට සිදුවන බැවිනි. ලෝක කුසලාන තරගාවලිය වැනි ප්‍රධාන තරගාවලියක අවසන් පූර්ව තරගයට පෙරදින කණ්ඩායමක් වෙනත් ප්‍රදේශයකට ගමන් කිරීම සුදුසු නොවේය යන ස්ථාවරයේ අන්තර්ජාතික ක්‍රිකට් සභාව පසුවෙයි.
තවද මෙම තරග වෙනුවෙන් සැලසුම් කළ හෝටල් පහසුකම්, ප්‍රවාහන කටයුතු, ගුවන් ගමන් සැලසුම් ආදී බොහෝ දේවල් මුල සිටම වෙනස් කිරීමද දැවැන්ත අතිරේක කාර්යයක් බවට පත් වේ.
මෙම තත්ත්වය හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැඩි අර්බුදයකට පත්ව සිටින අතර, මෙය ලෝක මට්ටමේ ප්‍රධාන තරගාවලියක් හේතුවෙන් අධිකරණය ඔස්සේම විසඳුමක් ලබාගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කරමින් සිටින බවද දැනගන්නට තිබේ.