ලෝක කුසලාන රග්බි තරගාවලියේ ඊයේ (25දා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ආර්ජන්ටිනාව (පූමාස්) පරාජය කර ලකුණු 29 – 15 ක් ලෙස ජයලැබීමට ඔස්ට්‍රේලියාව (වොලබීස්) සමත්විය.
මෙම තරගයේ පළමු අර්ධය අවසන් වනවිටත් ජයග්‍රහණයේ පෙරනිමිති පෙන්නුම්කරමින් සිටි වොලබීස් ක්‍රීඩකයෝ එම අර්ධය අවසන් වනවිට ලකුණු 19 – 09 ක් ලෙස ඉදිරියෙන් සිටියහ.
ජයග්‍රාහී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ගෝල දිනුම් 03ක්, උත්සාහක දිනුමක් හා දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට සමත්වූ අතර, ආර්ජන්ටිනා කණ්ඩායමට සාර්ථක කරගැනීමට හැකිවූයේ දඬුවම් පහර 05ක් පමණි.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලැබූ සිවුවැනි අවස්ථාව මෙය වේ. මෙහි අවසන් මහා තරගය එළඹෙන 31 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා මේ වනවිට නවසීලන්තය සුදුකම් ලබාසිටියි. අසල්වැසි රටවල් දෙකක් වන ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ අවසන් තරගයකදී හමුවන පළමු අවස්ථාව මෙය වේ.
ඊට අමතරව අවසන් පූර්ව වටයේ පරාජය වූ දකුණු අප්‍රිකාව (ස්ප්‍රිං බොක්ස්) හා ආර්ජන්ටිනාව අතර පැවැත්වෙන තෙවැනි ස්ථානය සඳහා තරගය එළඹෙන 30 වැනිදා පැවැත්වීමට නියමිතය.