ඇන්ජලෝ මැතිව්ස් හා කුසල් පෙරේරා හැරෙන්න වගකීම් පැහැර හැරිය ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් සංචාරක ඉන්දීය කණ්ඩායම හමුවේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (01දා) අවසන් වූ තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 117ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. මෙම පරාජයත් සමග තරග තුනකින් යුත් තරගාවලියේ තරග 2-1 ක් ලෙස ජය ඉන්දියාවට හිමිවිය.
වසර 33ක (1982 - 2015) දෙරට අතර ටෙස්ට් තරග ඉතිහාසයේ, ඉන්දීය කණ්ඩායමක් වසර 22කට පසු ශ්‍රී ලංකාවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් ලැබූ පළමු අවස්ථාව මෙය වේ. අවසන් වරට 1993 වසරේදී සිදුකළ තරග සංචාරයේදී තරග 1 -0 (3) ක් ලෙස ඉන්දියාව ජයගෙන තිබුණි.
තෙවැනි ටෙස්ට් තරගයේ ඉන්දීය කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 386 ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 85ක් අවසානයේදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 268ක් පමණි.
ඇන්ජලෝ මැතිව්ස්ගේ ශතක ඉනිම (110) හා කුසල් ජනිත්ගේ අර්ධ ශතකය (70) හැරෙන්න වෙනත් කිසිදු පිතිකරුවෙකුට ජයග්‍රහණය කරා රැගෙන යා හැකි හෝ අවම වශයෙන් කණ්ඩායම පරාජයෙන් ගලවාගත හැකි ඉනිමක් ගොඩනැගීමට නොහැකි විය. මැතිව්ස් මෙම ඉනිමේදී තම 07 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කරගත්තේය. ඊට අමතරව පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩාකළ කුසල්, පළමු ඉනිමේ මෙන්ම මෙම තරගයේදීද අර්ධ ශතකයක් රැස්කිරීමට සමත්වූ අතර, එය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ කඩුලු රකින්නෙකු පළමු තරගයේදීම අර්ධ ශතක දෙකක් රැස්කළ දෙවැනි අවස්ථාව විය. මීට පෙර දිනේෂ් චන්දිමාල් මෙම දස්කම දක්වා තිබුණි. ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 04ක් දවාළීමට සමත්විය.
පසුගිය බ්‍රහස්පතින්දා (28දා) ආරම්භ වූ මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 312/10 ක් රැස්කිරීමට සමත්විය. චෙටේෂ්වර් පුජාරා නොදැවී ලකුණු 145ක් රැස්කරමින් ඉනිම ශක්තිමත් කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ධම්මික ප්‍රසාද් (4/100) හා රංගන හේරත් (3/84) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් රැස්කිරීමට හැකිවූයේ ලකුණු 201/10 ක් පමණි. තම පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩාකළ කුසල් පෙරේරා ලකුණු 55ක් රැස්කළ අතර, එය ඉනිමේ පිතිකරුවෙකු ක්‍රීඩාකළ ඉහළම ඉනිම විය. ඉශාන්ත් ශර්මා කඩුලු 05ක් දවාළීමට සමත්විය.
ඒ අනුව ලකුණු 111ක වාසියක් සමගින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ඉන්දීය කණ්ඩායමට එම ඉනිමට ලකුණු 274/10 ක් රැස්කිරීමට සමත්විය. මෙම ඉනිමේදී සාර්ථක වූ රවිචන්ද්‍රන් අශ්වින් (58) හා රෝහිත් ශර්මා (50) අර්ධ ශතක රැස්කරමින් ඉනිම ශක්තිමක් කළහ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 386ක ඉලක්කයක් හිමිවිය.
තරගයේ වීරයා ලෙස චෙටේෂ්වර් පුජාරා සම්මාන දිනාගත් අතර, සමස්ත තරගාවලියේ කඩුලු 21ක් දවාළූ රවිචන්ද්‍රන් අශ්වින් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.
ඉන්දියාව පළමු ඉනිම 312/10 (පන්දුවාර 100.1)
චෙටෙස්වර් පුජාරා 145* (පන්දු 289, 4X12), අමිත් මිශ්රා 59 (පන්දු 87, 4X7), රෝහිත් ෂර්මා 26 (පන්දු 65, 4X3, 6X1), නාමන් ඔජා 21 (පන්දු 54, 4X3), ධම්මික ප්‍රසාද් 100/4 (පන්දුවාර 26), රංගන හේරත් 84/3 (පන්දුවාර 27.1)
ශ්‍රී ලංකාව පළමු ඉනිම 201/10 (පන්දුවාර 52.2)
කුසල් පෙරේරා 55 (පන්දු 56, 4X9), රංගන හේරත් 49 (පන්දු 84, 4X8), ධම්මක ප්‍රසාද් 27 (පන්දු 23, 4X4), දිනේෂ් චන්දිමාල් 23 (පන්දු 27, 4X5) ඉශාන්ත් ශර්මා 54/5 (පන්දුවාර 15), ස්ටුවර්ට් බිනී 24/2 (පන්දුපාර 9), අමිත් මිෂ්රා 25/2 (පන්දුවාර 7.2)
ඉන්දියාව දෙවැනි ඉනිම 274/10 (පන්දුවාර 76)
රවිචන්ද්‍රන් අශ්වින් 58 (පන්දු 87, 4X7) රෝහිත් ශර්මා 50 (පන්දු 72, 4X4, 6X1), ස්ටුවර්ට් බිනී 49 (පන්දු 62, 4X7), අමිත් මිශ්රා 39 (පන්දු 62, 4X4) නුවන් ප්‍රදීප් 62/4 (පන්දුවාර 17), ධම්මික ප්‍රසාද් 69/4 (19)
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 268/10 (පන්දුවාර 85)
ඇන්ජලෝ මැතිව්ස් 110 (පන්දු 240, 4X13), කුසල් පෙරේරා 70 (පන්දු 106, 4X11), කෞෂාල් සිල්වා 27 (පන්දු 50, 4X4), දිනේෂ් චන්දිමාල් 18 (පන්දු 17, 4X3), රවිචන්ද්‍රන් අශ්වින් 4/69 (පන්දුවාර 20), ඉශාන්ත් ශර්මා 32/3 (පන්දුවාර 19), උමේෂ් යාදව් 32/2 (පන්දුවාර 15),
ඡායාරූප ශාන්ත රත්නායක