පාපන්දු ක්‍රීඩා පිටියට වසන්තය ගෙනෙමින් වසර හතරකට වරක් පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය අද රුසියාවේදී ඇරඹේ. අදින් ඇරඹෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ජූලි 15 වැනිදා රැසියාවේ ප්‍රධාන නගර කිහිපයක්ම කේන්ද්‍රකරගනිමින් පැවැත්වේ. ඒ සඳහා රුසියාව හොඳින්ම සූදානම් වී ඇතිවාට කිසිදු සැකයක් නොමැත. මෙවර ලෝක කුසලානය සඳහා රුසියාව සත්කාරකත්වය හිමි කරගත්තේ 2010 වසරේ පැවැති රහස් ඡන්දය ජය ගනිමිනි.
එම ඡන්දය රුසියාව ජයගත්තද, බටහිර රටවල් චෝදනා කළේ රුසියාව ඡන්දය ජය ගැනීම පසු පස දූෂණ ඇති බවයි. කෙසේ වෙතත් තරගාවලිය ආරම්භවීමට පැය කිහිපයක් තිබියදී පවා මෙම චෝදනා ඔප්පු කර ගැනීමට බටහිරට නොහැකි වූයේ හුදෙක්ම එය ව්‍යාජ චෝදනාවක් බවට පත්කරමිනි. 2018 ලෝක කුසලානය සත්කාරකත්වය සඳහා තරග කළ අනෙකුත් රටවල් වූයේ බෙල්ජියම, නෙදර්ලන්තය, එංගලන්තය, පෘතුගාලය හා ස්පාඤ්ඤයයි.
මෙවර රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය යුරෝපයට ප්‍රධාන හේතු දෙකක් නිසා වැදගත් වේ. ඉන් පළමු වැන්න නම් නැගෙනහිර යුරෝපයේ පැවැත්වෙන පළමු ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මෙය වීමය. අනෙක් කරුණ නම් 2006 වසරේ ජර්මනියේ පැවැති පාපන්දු ලෝක කුසලානයෙන් පසුව යුරෝපයේ පැවැත්වෙන පළමු ලෝක කුසලාන තරගාවලිය මෙය වීමය.
මෙවර තරගාවලියට කණ්ඩායම් 32ක් ක්‍රීඩා කරයි. එයින් රටවල් 31ක් සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කරමින්ද, රුසියාව සත්කාරක රට වශයෙන්ද තරගාවලියට සුදුසුකම් ලැබීය. මෙවර තරගාවලිය යටතේ තරග 64ක් පැවැත්වෙන අතර අවසන් මහ තරගය මොස්කව් නුවරදී පැවැත්වීමට නියමිතය.
මහාද්වීපයක් ලෙස ගත්විට ලෝක කුසලාන තරගාවලියට වැඩිම කණ්ඩායම් ප්‍රමාණයක් එක්වන්නේ යුරෝපයෙනි. යුරෝපයෙන් කණ්ඩායම් 14ක් තරගාවලියට ක්‍රීඩා කරන විට ආසියාව (AFC) නියෝජනය කරමින් ඔස්ට්‍රේලියාව, ඉරානය, ජපානය, සෞදි අරාබිය හා දකුණු කොරියාව තරගාවලියට එක්වෙයි.
රුසියාවේ මොස්කව්, සාන්ත පීටර්ස්බර්ග්, සෝචි, කසන් ඇතුළු නගර 11ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම තරගාවලිය පැවැත්වේ. මුලින්ම ක්‍රීඩාංගණ 16ක තරගාවලිය පැවැත්වීමට රුසියාව සූදානම් වුවද පසුව එය ක්‍රීඩාංගණ 12ක් දක්වා අඩු කිරිමට කටයුතු කළේය. එම ක්‍රීඩාංගණ 12න් 9ක්ම අලුතෙන් ඉදිකර ඇති අතර, ඉතිරි ක්‍රීඩාංගණ තුන අධික මිලක් වැයකරමින් නවීකරණය කර තිබේ.
අවසන් තරගය පැවැත්වෙන මොස්කව් නුවර Luzhniki Stadiumහි ප්‍රේක්ෂක ධාරිතාවය 81000ක් වන අතර, සෑම ක්‍රීඩාංගණයක්ම ප්‍රේක්ෂකයන් 35000කට අධික ප්‍රමාණයකට පහසුකම් සැපයිය හැකි අයුරින් නිර්මාණය කර තිබීම කැපී පෙනෙන සාධකයකි.
මෙවැනි විශාල තරගාවලියක සත්කාරකත්වය ලබාගැනීමෙන් අනතුරුව ඒ සඳහා පහසුකම් ලබාදීම සඳහා ඕනෑම රටකට සිය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සිදුවෙයි. ඒ අනුව ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා පමණක් රුසියාව වෙන් කළ මුදල රූබල් බිලියන 352.5ක්විය. එයින් ගුවන් තොටුපොළවල් ආදී ගුවන් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රූබල් බිලියන 117.8ක් වැය කර තිබේ. ඊට සමගාමීව තරගාවලියට පැමිණෙන ක්‍රීඩකයන්ගේ හා ඔවුන්ගේ පවුල් වල උදවිය වෙනුවෙන්, ඒ ඒ රටවල්හි නිලධාරීන් වෙනුවෙන් මෙන්ම තරගාවලිය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන්ගේ පහසුකම් වෙනුවෙන් හෝටල් ඇතුළු අනෙකුත් යටිතල පහසුකම්ද උපරිමයෙන්ම සංවර්ධනය කිරීමට රුසියාව කටයුතු කළේය.
තරගාවලිය වෙනුවෙන් පහසුකම් ලබාදීම සඳහා රුසියාව විසින් ස්වේච්ඡා සේවකයන්ගෙන් අයදුම්පත් කැඳවා තිබූ අතර, ඒ සඳහා වාර්තාගත 177000කට අධික අයදුම්පත් ප්‍රමාණයක් සංවිධාකයනට ලැබී තිබුණි. තරගාවලිය වෙනුවෙන් ස්වේච්ඡා සේවකයන් 17040ක් හා ඒ ඒ නගරයන්හි පහසුකම් සැලසීම වෙනුවෙන් තවත් ස්වේච්ඡා සේවකයන් 18000ක් බඳවා ගැනීමට රුසියාව කටයුතු කර තිබේ. මෙම ස්වේච්ඡා සේවකයන් පුහුණු කිරීම වෙනුවෙන්ද රුසියාව විශේෂිත වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර, ඒ වෙනුවෙන් ඔවුන් සිය විශ්වවිද්‍යාල 15ක සේවාව ලබාගත්තේය.
මෙහිදී තරගාවලියට එක්වන ක්‍රීඩකයන්, පවුල්වල උදවිය මෙන්ම, ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද රුසියාව කටයුතු කර තිබේ. අයි.ඒස්.අයි.එස්. සංවිධානයද තරගාවලිය ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනය කර තිබුණත්, රුසියානු ජනපති ව්ලැඩ්මීර් පූටින් සඳහන් කළේ තරගාවලිය වෙනුවෙන් ආරක්ෂාව උපරිමයෙන්ම තහවුරු කරන බවයි. එය ඔහු ප්‍රධාන වශයෙන්ම අරමුණු කර ඇති ක්ෂේත්රයකි.
රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක අංශ මෙන්ම රුසියාවේ කේ.ජී.බී. ඒජන්සියේ නියෝජිතයන් මාස කිහිපයක පටන් තරගාවලියේ සත්කාරකත්වය දරන නගරයන්හි රැඳී සිටිමින් ආරක්ෂාව තහවුර කරමින් සිටියි. එසේම තරගාවලිය ඉලක්ක කරගෙන එල්ලවිය හැකි සයිබර් ප්රහාරයන්ට මුහුණදීම වෙනුවෙන්ද රුසියාව සූදානම් වී තිබේ.
මීට අමතරව මෙවර තරගාවලියේදී වර්ගවාදී ගැටුම් ඇතිවෙතැයි යනුවෙන් අනුමාන පවතින අතර, ඒ වෙනුවෙන්ද රුසියාව සූදානම් වී තිබේ. මෑතකදී රුසියාවේ පැවැති තරග කිහිපයකදීම මෙවැනි වර්ගවාදී ගැටුම් ඇති විය. ඊට අමතරව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයද මෙවැනි වර්ගවාදී සිදුවීම් වැළැක්වීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටියි.
තරගාවලියේ සියලුම තොරතුරු ඇතුළත්ව එනම් මොස්කව් මෙට්‍රෝ සේවයේ කාලසටහන්, ක්රීඩාගංණ පිළිබඳ තොරතුරු, තරග කාලසටහන්, ගමන් මාර්ග ඇතුළත්ව භාෂා හයකින් යුත් ජංගම දුරකථන යෙදුමක් රුසියාව විසින් නිර්මාණය කර තිබේ. ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ජර්මනිය, පෘතුගාල හා චීන භාෂාවෙන් මෙම යෙදවුම් නිර්මාණය කර තිබේ.
සමස්තයක් ලෙස රුසියාව ලෝක කුසලානයේ සත්කාරකත්වය වෙනුවෙන් වෙන් කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 11.8ක් බවට කියැවේ. ඒ අනුව මූල්‍ය විශ්ලේෂකයන් පවසන්නේ 2014 වසරේදී බ්‍රසීලයේ පැවැති ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව මෙන්ම, 2016 ඔලිම්පික් තරගාවලියෙන් අනතුරුව බ්‍රසීලය මුහුණදුන් ආකාරයේ මූල්‍යමය ගැටලුවකට රුසියාවද මුහුණදෙනු ඇති බවයි.
කෙසේ වෙතත් රුසියාව වර්තමානයේදී අයවැය අතිරික්තයක් පෙන්වන අතරම, මේ හේතුවෙන් ලෝක කුසලානයට සත්කාරකත්වය දැරීම නිසා රුසියාවට ආර්ථික අපහසුතාවකට මුහුණදීමට සිදුනොවන බව රුසියාව අවධාරණය කර තිබේ.