ඉන්දියාවේදී එළැඹෙන මාර්තු මස 08 වැනිදා ආරම්භවීමට නියමිත පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙරාතුව ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දීමට ඇත්තේ තවත් පන්දුවාර විස්සයි20 තරගාවලි දෙකක් පමණි. ඉන් එක් තරගාවලියක් අද (09 වැනිදා) ඉන්දියාවේ පුනේහිදී ඉන්දීය කණ්ඩාමට එරෙහිව ආරම්භ වේ. තරග තුනකින් සමන්විත මෙම පන්දුවාර විස්සයි20 තරගාවලිය ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම තෝරාගැනීම සඳහා කණ්ඩායම් දෙකටම එක සේ වැදගත්ය. කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමට සාපේක්ෂව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලිය වඩා වැදගත් බව අපි විශ්වාස කරන්නෙමු.
ඉන්දීය කණ්ඩායම අසීරු කාල ගත කරමින් සිටින වකවානුවලදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග හදිසි තරග සංචාර සංවිධානය කරගනිමින් ඔවුන් සිය සුපුරුදු ආක්‍රමණශීලි තරග රටාවට අවතීර්ණවීමට ඉඩහසර ලබාගත් අවස්ථා බොහෝය. එහෙත් මෙවර තරගාවලිය එවැනි තරගාවලියක් නොවන බව පෙනෙන්නට තිබේ. මන්ද ඉන්දීය කණ්ඩායම අවසන් වරට ඔස්ට්‍රේලියාවේ දී මුහුණ දුන් එක්දින තරගාවලිය මෙන්ම පන්දුවාර විස්සයි20 තරගාවලියද හොඳින් අවසන් කළ බැවිනි. එක්දින තරගාවලිය 4-1ක් ලෙසින් ඉන්දීය කණ්ඩායම පරාජයට පත්වුවද ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට එරෙහිව විශාල ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට ඉන්දීය පිතිකරුවන්ට හැකිවිය. එපමණක් නොව, පන්දුවාර විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙසින් ජයග්‍රහණය කිරීමටද ඉන්දීය කණ්ඩායමට හැකිවිය. එහෙයින් ඉන්දීය කණ්ඩායම මේ වනවිට සිය සුපුරුදු රිද්මයේ පසුවන බවක් පෙනෙන්නට තිබේ.
කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පෙරහුරුවක් ලබාගැනීමට මෙන්ම, නවක ක්‍රීඩකයන් අත්හදා බැලීමටද ඉන්දීය කළමනාකාරිත්වය මෙම තරගාවලිය යොදා ගැනීමට වැඩි අවස්ථාවක් ඇත. එහි එක් පියවරක් ලෙසින් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ලකුණු අතර සිටින සහ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව වඩාත් සාර්ථකව පන්දුවට පහෙදෙන පිතිකරුවෙකු වන විරාට් කෝලිට විවේකයක් ලබාදීමට ඉන්දීය කළමනාකාරිත්වය තීරණය කර ඇත.
එහෙත් අදින් (09දා) ආරම්භ වන තරග තුනකින් සමන්විත තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු තරගාවලියක් නොවන බව පෙනෙන්නට තිබේ. පන්දුවාර විස්සයි20 පළාත් තරගාවලියේ සමාප්තියත් සමගම ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව ගියේය. එහෙයින් ඉන්දීය තරග සංචාරය සඳහා යම් පුහුණුවක් ලබාගන්නට අවස්ථාවක් හිමිවුවායැයි අපි විශ්වාස කරන්නෙමු. එමෙන්ම මාවන් අතපත්තුගෙන් පසුව හිස්වූ පුහුණුකරු තනතුරු සඳහා ද ග්රැහැම් ෆෝඩ් මහතා පත් කර ඇති බැවින් ඔහුගේ අත්දැකීම්ද ශ්‍රී ලංකා කණ්ඩායමට වාසියක් හිමිකර දෙනු ඇතැයිද අපගේ විශ්වාසයයි.
කෙසේ වෙතත් කණ්ඩායමක ජයග්‍රහණය තීරණය වන්නේ ඒ ඒ දවසට අනුව පිටිය තුළදී ක්‍රීඩකයන් ඉදිරිපත් කරන දක්ෂතා අනුවය. පුහුණුකරු කෙතරම් දක්ෂ වුවද ක්‍රීඩකයන් දුර්වල ක්‍රීඩා විලාසයක් ඉදිරිපත් කරයි නම් ඉන් ඵලක් නොමැත.ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තිදෙනාම ආබාධයන් හේතුවෙන් විවේක ගන්වා ඇති බැවින් තරුණ ක්‍රීඩකයන්ට ලෝක කුසලාන තරගාවලිය සඳහා සිය ස්ථාන වෙන්කරගැනීමට මෙය කදිම අවස්ථාවකි. කෙසේ වෙතත් තිලකරත්න ඩිල්ෂාන් දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වීමට නියමිතය. ඩිල්ෂාන් නොමැති බැවින් පළමු තරගය සඳහා ඔහුගේ ස්ථානයට නිරෝෂන් දික්වැල්ල කැඳවා ඇත.
නිරෝෂන් පන්දුවාර විස්සයි20 තරගාවලියේදී ලකුණු අතරට පිවිසි පිතිකරුවෙකි. එහෙයින් ඔහුට කණ්ඩායමේ ස්ථානයක් හිමිවීම සාධාරණය. එපමණක් නොව, දෙවැනි තරගයේදී ඩිල්ෂාන් නැවතත් කණ්ඩායම සමගින් එක්වන බැවින් අද තරගයේදී දික්වැල්ලට අවස්ථාවක් හිමිවන්නේ නම් එය වැදගත්ය. දික්වැල්ල ලකුණු අතරට පිවිසිය හොත් ඩිල්ෂාන් තවදුරටත් විවේක ගන්වා ලෝක කුසලානය වෙනුවෙන් ආරක්ෂා කරගත හැකිය.
පළාත් තරගාවලියේදී හම්බන්තොට කණ්ඩායම නියෝජනය කරමින් තරග කළ සීක්කුගේ ප්‍රසන්න එම තරගාවලියේදී මෙන්ම, බංග්ලාදේශයේ පැවැති බී.පී.එල් (BPL) පන්දුවාර විස්සයි20 තරගාවලියේදීද ආරම්භක පිතිකරුවෙකු ලෙසින් කටයුතු කරමින් ලකුණු අතරට පිවිසීමට අවස්ථාව උදාකර ගත්තේය. එහෙයින් සීක්කුගේ ප්‍රසන්න ආරම්භක පිතිකරුවෙකු ලෙසින් යොදා ගැනීමටද අවස්ථාවක් ඇත. එසේ අවස්ථාවක් උදාවුවහොත් එය සාර්ථක කරගැනීම ඔහුගේ වගකීමකි.
කලකට පසුව දිල්හාර ප්‍රනාන්දුට සිය දක්ෂතා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් හිමිව ඇත. ඔහුද පළාත් තරගාවලියේදී දක්ෂතා අතරට පිවිසි පන්දු යවන්නෙකි. දිල්හාරට කණ්ඩායමේ අවසන් එකොළොස් දෙනා අතරට පිවිසීමට අවස්ථාවක් හිමිවුවහොත් ඔහුගේ රිද්මය ගැන අවබෝධයක් ලබාගත හැකිය. ඔහු සුපුරුදු රිද්මයේ හිඳිමින් පන්දු යවමින් කඩුලු ලබා ගතහොත් එය මාලිංගට වාසියකි. මන්ද දිල්හාර ඇති තරම් අත්දැකීම් ඇති පන්දු යවන්නෙකු බැවිනි. ඔහු යොදා ගනිමින් ලෝක කුසලාන තරගාවලියේදී පිතිකරුවන්ට පීඩනයක් එල්ල කිරීමට මාලිංගට අවස්ථාව උදාකර ගත හැකි බැවින් දිල්හාර සාර්ථක වීම ඔහුට මෙන්ම කණ්ඩායමටද එකසේ වැදගත් බව මේ මොහොතේ පෙනෙන්නට තිබේ.
ලෝක කුසලාන තරගාවලිය අබිමුවේ මෙම තරගාවලිය පැවැත්වෙන බැවින් සෙසු පන්දු යවන්නන්ද තම ස්ථාන වෙනුවෙන් සටනක් ලබාදෙනු නිසැකය. එහෙයින් මෙම තරගාවලිය කණ්ඩායම තුළ සිටින ක්‍රීඩකයන් අතරද තම ස්ථාන වෙනුවෙන් තරග වදින අවස්ථාවකි. ක්‍රීඩකයන්ගේ දක්ෂතා මතුකර ගැනීමට එවැනි තරගකාරීත්වයක් පැවැතීම අත්‍යවශ්‍ය සාධකයකි. කෙසේ වෙතත් පසුගිය තරගාවලි කිහිපය තුළම අසාර්ථක වූ තිසර පෙරේරාට මෙම තරගාවලිය තීරණාත්මක තරගාවලියක් වනු ඇත. යම් හෙයකින් ඔහුට සාර්ථකවීමට අවස්ථාවක් හිමිනොවුණහොත් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඇති බලාපොරොත්තු අතහැර ගන්නට තිසරට සිදුවනු ඇත. අද පූනේහි පැවැත්වෙන පළමු විස්සයි20 තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භවීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචිතය - දිනේෂ් චන්දිමාල් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, සීක්කුගේ ප්‍රසන්න, මිලින්ද සිරිවර්ධන, ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා, දසුන් ශානක, අසේල ගුණරත්න, චාමර කපුගෙදර, දුෂ්මන්ත චමීර, දිල්හාර ප්‍රනාන්දු, කසුන් රජිත, බිනුර ප්‍රනාන්දු, සචිත්ර සේනානායක, ජෙෆ්රි වැන්ඩසෙ
ඉන්දීය සංචිතය - එම්.එස්. දෝනි (නායක), රෝහිත් ෂර්මා, ශිකර් ධවාන්, අජින්කේ රහානේ, මනීෂ් පාණ්ඩේ, සුරේෂ් රයිනා, යුවරාජ් සිං, හාදික් පාණ්ඩ්‍යා, රවීන්ද්‍ර ජඩේජා, රවිචන්ද්‍රන් අෂ්වින්, ජස්ප්‍රීට් බුම්රා, අශීෂ් නෙහෙරා, හර්බජාන් සිං, බුවනේෂ්වර් කුමාර්, පවන් නේගි