ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගෙන් සමන්විත නව ශ්‍රී ලංකා විස්සයි 20 ලෝක කුසලාන සංචිතය ඊයේ (08දා) ක්‍රිකට් ආයතනයේ පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව ගියේය.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පතා වන් ටීම් වන් නේෂන් (One Team, One Nation) නමින් සුබ පැතීමේ උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තුරඟ තරග පිටියේදී සංවිධානය කර තිබූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් එහිදී ජනාධිපතිවරයා ක්‍රීඩකයන්ට සුබ පැතුම් එක් කළේය.
මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල, ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී ජනාධිපතිවරයා ක්‍රීඩකයන්ට සුබ පතා අත්සන් එකතු කිරීමේ ව්‍යාපෘතිය අරඹමින් ශ්‍රී ලංකා රජයේත්,ජනතාවගේත් සුබ පැතුම් නමින් පළමු අත්සන එක් කළේය. තුරඟ තරග පිටියේ පැවැති මෙම සුබ පැතීමේ උත්සවයට විචිත්‍රවත් අංග රාශියක් එක්කර තිබූ අතර, පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් එය නැරඹීමට පැමිණ සිටියහ.
ඇන්ජලෝ මැතිව්ස් - නව විස්සයි20 නායක
“අපි ආසියානු කුසලානය කණ්ඩායමක් විදිහට හොඳට ක්‍රීඩා කළේ නැහැ. නමුත් ලෝක කුසලානය කියන්නේ අපට තවත් අලුත් තරගාවලියක්. කණ්ඩායමේ වෙනස්කම් දෙක තුනක් සිදු වුවත් අපි ලෝක කුසලානය හොඳින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාස කරනවා ඒ කර්තව්‍යය අපට හොඳින් කරගන්න පුළුවන් වෙයි කියලා. අපේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනෙයි ඉන්නේ. ඉතිං මෙවන් තරගාවලියකට යන විට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ අත්දැකීම් විශාල වශයෙන් ප්‍ර‘යෝජනවත් වෙනවා. ළහිරු තිරිමාන්න කියන්නෙ ලෝක කුසලාන 02 ක් ක්‍රීඩා කර ඇත්දැකීම් තිබෙන ක්‍රීඩකයෙක්. ඒ වගේම සුරංග ලක්මාල් අපේ කණ්ඩායමට නව ජවයක් ලබාදේවි කියලා මං විශ්වාස කරනවා.
ග්රැහැම් ෆෝඩ් - ශ්‍රී ලංකා පුහුණුකරු
“තරුණ ක්‍රීඩකයන් ඉතා හොඳින් ක්‍රීඩා කරනවා. නමුත් වෙනස්කම් සිදු කිරීමේදී අපි දක්ෂතා වර්ධනය කරගත් ක්‍රීඩකයන් කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වූවා. මම සතුටු වෙනවා දැන් තෝරාගෙන තිබෙන කණ්ඩායම සම්බන්ධයෙන්. මම ශ්‍රී ලංකාවට නැවත පැමිණියේ හුඟ කාලෙකට පස්සෙයි. බොහෝ ක්‍රීඩකයන් පිළිබඳ ලොකු වැටහීමක් මට නෑ. නමුත් ඉන්දියාවේදී හා බංග්ලාදේශයේදි දක්ෂතා දක්වපු තරුණ ක්‍රීඩකයන් අපි තෝරාගෙන තිබෙනවා. එය විශිෂ්ට ගොඩනැංවීමක්. මේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සංක්‍රාන්ති කාලයක්, අසීරු කාලයක්. අපට අහිමි වෙලා තිබෙනවා අත්දැකීම් බහුල විශිෂ්ට ක්‍රීඩකයන්. ඒ නිසා තරුණ ජවය ඇති ක්‍රීඩකයන් අපි සම්බන්ධ කරගෙන තිබෙනවා.
ඡායාරූප - ඉසුරු පෙරේරා