පුහුණුකරුවන්ගේ පුහුණුකරුවා යන විරුදාවලිය ලද ලයනල් මෙන්ඩිස් මහතා දශක පහකට අධික කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට කළ අමිල සේවය අගයනු වස් ලයනල් මෙන්ඩිස් ක්‍රිකට් හරසර ප්රණාම උලෙළ පෙරේදා (21දා) කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලවේදී පැවැත්විණි.
මෙහිදී ලයනල් මෙන්ඩිස් මහතාගේ ක්‍රිකටි දිවිය අළලා නිෂ්පාදිත කෙටි චිත්‍රපටයක් හා මෙන්ඩිස් මහතා රචනා කළ ක්‍රිකට් ගීතයක් එළිදැක්වුණු අතර, ලයනල් මෙන්ඩිස් මහතාගේ හොඳම ක්‍රිකට් ගෝලයා වූ වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා උලෙළේ ප්‍රධාන දේශනය සිදු කළේය.
"ලයනල් සර් මුදලට යට නොවුණු ගුරුවරයෙක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. ඔහු අපට ඉගැන්නුවේ පිතිකරණය හා පන්දු යැවීම පමණක් නොවෙයි. ක්‍රීඩාවෙන් පරිබාහිරව සියලු කටයුතු කළමනාකරණය කිරීමට ඔහු ඉගැන්නුවා. ලයනල් සර් විනය පිළිබඳව විශාල අවධානයක් යොමුකළ පුද්ගලයෙක්. අද මුදල ඉස්සරහට ඇවිත් ක්‍රීඩාව පස්සට ගොස් තියෙනවා. හැබැයි අපි ඒ අතින් වාසනාවන්තයි. ඔහු ක්‍රීඩාව ඉදිරියට දාලා, මුදල් පැත්තකින් තියලා අපිව ක්‍රිකට්වලින් ඉදිරියට ගෙනගියා. ඉස්සරහට තැබූ පය පිටිපස්සට නොගෙන වැඩ කරන්න යැයි ලයනල් සර් කියූ වදන් අපේ හිත්වල අදටත් පවතිනවා"යැයි අර්ජුන රණතුංග මහතා හැඬූ කඳුළින් පවසද්දී ලයනල් මෙන්ඩිස් මහතාගේ නෙත්වලට මෙන්ම ප්රණාම පුද කිරීමට පැමිණ සිටි සියල්ලන්ගේම නෙත්වලට කඳුළක් එක්වීම මෙම හරසර උලෙළේ සුවිශේෂි සිද්ධියක් විය.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ලයනල් මෙන්ඩිස් මහතා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ස්වකීය ක්‍රිකට් දිවිය ආරම්භ කළේය.1973 වසරේදී කොළඹ ආනන්ද විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකාර ධුරයට පත්වන ඒ මහතා අර්ජුන රණතුංග, චරිත් සේනානායක, බ්‍රෙන්ඩන් කුරුප්පු, දුලිප් මෙන්ඩිස්, තිලාන් සමරවීර, නිශාන්ත රණතුංග, ධම්මික රණතුංග, සංජීව රණතුංග, මහේල ජයවර්ධන වැනි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රිකට් තරු රැසකට ක්‍රිකට් අත්පොත් තැබූ පුහුණුකරුවාය.
1982දී එන්.සී.සී. ක්‍රිකට් පාසල ආරම්භ කරන මෙන්ඩිස් මහතා කුමාර සංගක්කාර, අවිශ්ක ගුණවර්ධන, කුමාර ධර්මසේන වැනි සුපිරි ක්‍රිකට් තරු රැසක් ශ්‍රී ලාංකේය ක්‍රීඩාවට දායාද කළේය.ක්‍රිකට් හරසර ප්රණාම උලෙළේදී හිදී අදහස් දැක් වූ ලයනල් මෙන්ඩිස් මහතා.
“ක්‍රිකට් කියන්නේ ජීවන දර්ශනයක්. ඔබට ලෝකය ජයගත හැකි ක්‍රිකට් තරුවක් වීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකාවේ සිදත්, සුනිල්, මිත්‍ර, චරිත් සේනානායක, ජයන්ත සෙනෙවිරත්න වැනි ක්‍රීඩකයන් අනුගමනය කරන්න. ඔවුන්ගේ පිතිකරණ දක්ෂතා අති විශිෂ්ටයි.
ඒ වගේම ඔබට ජාත්‍යන්තරය තුළදීත් හොඳ පිතිකරුවන් ආදර්ශයට ගත හැකියි. විජේ මර්ඩන්ට් මගේ ක්‍රිකට් දිවියේ වීරයෙක්. කොලින් කවුඩ්රි, සුනිල් ගවස්කාර්, සචින් ටෙන්ඩුල්කාර්, රාහුල් ඩ්‍රාවිඩ් තරුණ ක්‍රීඩකයන්ට ක්‍රිකට් ඉගෙනගත හැකි ක්‍රීඩකයන්. අර්ජුන මගේ ළඟට එද්දි අවුරුදු 09යි. මහේල මගේ ළඟට ආවෙ අවුරුදු 08දී. සංගක්කාරගේ පියා සංගක්කාරව මගේ ළඟට ගෙනාවේ අවුරුදු 20දි විතර. ඔවුන් අද ලෝකයම පිළිගත් සුපිරි ක්‍රිකට් තරු. නොපසුබස්නා වීර්යයෙන් හා අධිෂ්ඨානයෙන් ඔබ ඔබේ ජයග්‍රහණ හඹා යා යුතුයි.
ක්‍රිකට් යනු කලාවක්. ජීවිතය හඳුනාගතහැකි සාරගර්භ විද්‍යාවක්. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපට ලබාදුන් යහපත් දේවල් 03ක් ගැන මං සඳහන් කරන්නම්. පළමුවැන්න ඉංග්‍රීසි භාෂාව, දෙවැන්න ඉංග්‍රීසි නීතිය, තෙවැන්න ක්‍රිකට්. ඉතිං ක්‍රිකට්වලින් ඔබ ඉදිරියට යන්නේ නම් අධිෂ්ඨානයෙන් කටයුතු කරන්න" යැයි කුලරත්න ශාලාවේ අතුරු සිදුරු නැතුව පිරීසිටි පාසල් සිසුන්ගෙන් මෙන්ඩිස් මහතා ඉල්ලා සිටියේය.
ලයනල් මෙන්ඩිස් ක්‍රිකට් හරසර උලෙළ අර්ජුන රණතුංග මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වූ අතර, ආදි ආනන්දීය එකමුතුව, සේව් ද ස්පෝර්ට් ඉන් ශ්‍රී ලංකා සංවිධානය හා ජාතික නිදහස් ක්‍රීඩා පදනම එක්ව මෙය සංවිධානය කෙරිණි. මෙහිදී ලයනල් මෙන්ඩිස් මහතාට අමාත්‍ය අර්ජුන රණතුංග විසින් සමරු තිළිණයක් ප්රදානය කරනු ලැබූ අතර ඒ.ආර්. මීඩියාහි හිරුණි ලවංගනා ඒ මහතාගේ රුව ඇතුළත් ආලේඛ්‍ය චිත්‍රයක් පිරිනැමුවාය.
මෙම ක්‍රිකට් හරසර ප්රණාම උලෙළට ආනන්ද, නාලන්ද ඇතුළු පාසල් රැසක ශිෂ්‍යයන්, ආදි ශිෂ්‍යයන් රැසක් එක්ව සිටියහ. බන්දුල වර්ණපුර, ජයන්ත සෙනෙවිරත්න, මේජර් ජෙනරාල් ජගත් ඩයස්, ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල, රොෂාන් රණතුංග, චරිත් සේනානායක ඇතුළු ජාත්‍යන්තරය නියෝජනය කළ ක්‍රීඩකයන් හා මැතිඇමතිවරු රාශියක්ද ඒ සඳහා එක්ව සිටියහ.















ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ