ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම අතර ඊයේ (22දා) පැවැති තරගයෙන් ලකුණු 14ක ජයක් වාර්තා කිරිමට මුම්බායි කණ්ඩායම සමත්විය.
තරගාවලියේ 25 වැනි තරගය ලෙසින් වන්කඩේ පිටියේදී ඊයේ රාත්රියේදී මෙම තරගය පැවැත්විණි. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 8ට ලකුණු 142ක් රැස්කළේය.
මුම්බායි කණ්ඩායමේ කිසිම ක්‍රීඩකයෙකුට ලකුණු 30 සීමාව පසුකර යෑමට දිල්ලි කණ්ඩායම ඉඩ නොදුන්නේය. අමිත් මිශ්රා හා පැට් කමින්ස් කඩුලු දෙක බැගින් දවාගත්හ.
ලකුණු 143ක පහසු ඉල්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි දිල්ලි කණ්ඩායම ලකුණු 128ට සීමා කිරීමට මුම්බායි කණ්ඩායම සමත්විය. මෙම තරගයේදී ලසිත් මාලිංග ක්‍රීඩා නොකළ අතර ඔහු වෙනුවට මිචෙල් ජොන්සන් තරගයට ක්‍රීඩා කළේය. දිල්ලි ඉනිමේ මුල් කඩුලු හය ලකුණු 24ට දවා ගැනීමට මුම්බායි පන්දු යවන්නෝ සමත්වූහ. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මිචෙල් මැක්ලෙනහැන් පන්දුවාර 4 දී ලකුණු 24ට කඩුලු 3ක් දවාගත්තේය.
ලකුණු 24ට කඩුලු 6 ක් දැවී අසීරු තත්ත්වයක පැවැති දිල්ලි කණ්ඩායමේ කාගිසෝ රබාඩා හා ක්‍රිස් මොරිස් 7 වැනි කඩුල්ලට ලකුණු 91ක සබඳතාවක් පැවැත්වූහ. හත්වැනි කඩුල්ල ලෙසින් පන්දුවාර 18.4දී මුලු ලකුණු සංඛ්‍යාව 115දී රබාඩා දැවී යාමෙන් පසුව දිල්ලි කණ්ඩායමේ පරාජය තහවුරු විය. අවසන් පන්දු 8න් පන්දු පහකට මුහුණ දුන් පැට් කමින්ස්ට ලබාගත හැකි වූයේ ලකුණු 4ක් පමණි.