රෝස පන්දුවේ අභියෝගය ජයගනීද?
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (06දා) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වේ. දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය, ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන පළමු ජාත්‍යන්තර දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගයද වේ.
මෙරට ක්‍රීඩා ලෝලීන්ට නවමු අත්දැකීමක් වන මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට නම් අභියෝගයකි. එයට කණ්ඩායමක් ලෙස කෙසේ මුහුණ දෙන්නේ දැයි ක්‍රිකට් ක්‍රීඩාවට හිතැති සියලු දෙනාම බලා සිටිති. පසුගිය 02වැනිදා අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජයගත් බැවින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මානසිකව යම් ප්‍රමාණයකට ඉදිරියට පැමිණ ඇතැයි විශ්වාස කළ හැක.
දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරග රෝස පැහැ පන්දුවෙන් පැවැත්වෙන බැවින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඒ සඳහා හොඳ පුහුණුවක් ලබන්නට ඇත. එහෙත් තරගයේ පීඩනයත්, තෙවැනි සැසියේදී පන්දුවේ දෝලනයද වැඩි විය හැකි බැවින් එයට මුහුණදීම ශ්‍රී ලංකා පිතිකරුවන්ට අභියෝගයකි.
නවක ක්‍රීඩකයන් දෙදෙනෙකු ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූ සදීර සමරවික්‍රමට සහ රෝෂේන් සිල්වාට තවමත් ටෙස්ට් වරම් හිමි නොවුණි. දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදීද ඒ සඳහා ඔවුන්ට අවස්ථාවක් හිමිවන බවක් පෙනෙන්නට නොමැත. මන්ද පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජයගත් බැවින් එය ඉදිරියට දමා කණ්ඩායමේ පිතිකරණ සංයුතියේ වෙනසක් නොකිරීමට වැඩි ඉඩක් ඇති පවතින බැවිනි. එහෙයින් ළහිරු තිරිමාන්නට දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදීද තවත් අවස්ථාවක් හිමිවන ලකුණු පෙනෙන්නට තිබේ.
තිරිමාන්න ලකුණු අතරට පැමිණේ යැයි සිතා ඔහුට දිගින් දිගටම අවස්ථාව ලබාදීම සදීර සහ රෝෂේන් වැනි තරුණ ක්‍රීඩකයන්ට කරන බලවත් අසාධාරණයකි. තවද තිරිමාන්නට අංක 3 ස්ථානය ලබාදී, අංක 3 ස්ථානයේ හොඳින් ලකුණු රැස්කරමින් සිටි කුසල් මෙන්ඩිස් අංක 4 ස්ථානයේ පන්දුවට පහරදීමට යොදාගැනීමද සෑහීමට පත්විය හැකි තීරණයක් නොවේ. කුමාර් සංගක්කාරගේ සමුගැනීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සොයාගත් හොඳම අංක 3 පිතිකරුවා කුසල් මෙන්ඩිස් බැවින් ඔහුට එම ස්ථානයේ ක්‍රීඩා කිරීමට දිගින් දිගටම අවස්ථාව ලබාදිය යුතු යැයි අපි විශ්වාස කරන්නෙමු.
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජයගත් හෙයින් පිතිකරණ සංයුතියේ වෙනසක් සිදුනොවුණද පන්දු යැවීමේ සංයුතියේ වෙනසක් සිදුවීමට වැඩි අවස්ථාවක් පවතී. රාත්‍රී කාලයේදී රෝස පන්දුවේ දෝලනයක් අපේක්ෂා කරන බැවින් බොහෝ දුරට ලක්ෂාන් සඳකැන් වෙනුවට වමත් මද වේග පන්දු යවන ළහිරු ප්‍රනාන්දු අද තරගයේදී අවසන් 11 දෙනා අතරට එක්වනු ඇත.
අද පුවත්පත සඳහන් කළ පරිදිම අසාර් අලී ප්රමුඛ ෂාන් මසූඩ් සහ සමි අස්ලම් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු අතරට ප්‍රවිෂ්ට වූහ. කෙසේ වෙතත් ඔවුන් දෙවැනි ඉනිමේදී අසාර්ථක වුවද අදින් ඇරඹෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදීද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අභියෝගක් එල්ල කළ හැකි පිතිකරුවෝ වෙති. තවද පාකිස්තානු නායක සෆ්රාස් අහමඩ් යනු සටන්කාමී පිතිකරුවෙක් බැවින් ඔහු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමද නුවණට හුරුය. විශේෂයෙන්ම සෆ්රාස් සුවිප් පහර වැඩි වශයෙන් එල්ල කිරීමට රුචිකත්වයක් දක්වන පිතිකරුවෙකු බැවින් එය පාලනය කිරීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් උත්සාහ කළ යුතුය.
දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දිවා රාත්‍රී තරගයක් බැවින් මෙන්ම රෝස පන්දුවේ දෝලනයක්ද බලාපොරොත්තු වියහැකි බැවින් පාකිස්තානු වේග පන්දු යවන්නන්ගේ වැඩි දක්ෂතා අපේක්ෂා කළ හැක. විශේෂයෙන්ම පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී අසාර්ථක වුවද මොහොමඩ් අමීර් මෙම තරගයේදී සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට වැඩි අවස්ථාවක් පවතී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



