ලෝක රෝද පුටු ටෙනිස් තරගාවලියේ සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ශ්රී ලංකා රෝද පුටු ටෙනිස් කණ්ඩායම පෙරේදා (25දා) සමත්විය. ඒ තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායමට මුහුණ දුන් පළමු තරගයෙන් ඉතාලි කණ්ඩායම පරාජය කරමිනි.
ශ්රී ලංකා කණ්ඩායම ඉතාලිය හමුවේ තරග වට 2-1 ක් ජයක් ලබාගැනීමට සමත්වූ අතර, එම කණ්ඩායම නියෝජනය කළේ ගාමිණී දිසානායක හා උපාලි රාජකරුණා විසිනි.
ශ්රී ලංකාව මෙම තරගාවලියේ දෙවැනි කාණ්ඩයෙන් ක්රීඩා කරන අතර, එම කාණ්ඩයට තායිලන්තය, බ්රසීලය, ඉතාලිය, ස්පාඤ්ඤය හා ජර්මනිය ඇතුළත් වෙයි.
ශ්රී ලංකා කණ්ඩායම සහභාගීවන මීළඟ තරගය ස්පාඤ්ඤ කණ්ඩායම එරෙහිව පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලිය තුර්කියේ පැවැත්වෙන අතර තරග ඉසව් පහක් සඳහා රටවල් 28ක් නියෝජනය කරමින් කණ්ඩායම් 52ක් සහභාගීවෙයි. පසුගිය වසරේ (2014) පැවැති තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායම මෙහි ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්විය. පෙරේදා (25දා) ආරම්භ වූ තරගාවලිය එළැඹෙන 31දා තෙක් පැවැත්වෙයි.