ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු පරිපාලනය නිලවරණය අත්හිටුවීම වළක්වා ගැනීමට නඩු කතා කළ නීතිඥ කණ්ඩායමට රුපියල් මිලියන 12කට වැඩි නඩු ගාස්තු ගෙවන ලෙස නියෝග කර ඇති අතර, ඒ සඳහා වන චෙක්පත් මේ වන විට ප්‍රධාන විධායක නිලධාරීගේ සහ නිසි බලධාරියාගේ අනුමැතියට යොමු කර ඇතැයි 'අද'ට වාර්තා වේ.
කෙසේ වෙතත් මේ වන විට එම පරිපාලනයේ කටයුතු නිමාවී ඇති අතර,(මැයි මස 31 වැනිදායින් නිමා විය) ඔවුන්ගේ නඩු කටයුතු සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් මුදල් භාවිත කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී වාතාවරණයක් මතුව තිබේ.
රුපියල් මිලියන 12කට වැඩි නඩු ගාස්තුවලට අයත් චෙක්පත් පසුගියදා (05දා) ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගේ අනුමැතිය ලබා ගැනීමට යොමු කර ඇති අතර, හෙතෙම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශාශාන්ක් මනෝහර් සහ ප්‍රධාන විධායක නිලධාරී ඩේව් රිචර්ඩ්සන් යන මහත්වරු සමග විශේෂ සාකච්චාවකට මෙරටින් බැහැරව සිටීම නිසා එම චෙක්පත් අත්සන් කර නොමැත.
කෙසේ වෙතත් මෙම චෙක්පත්වලට අත්සන් තැබීමට පෙර මේ සම්බන්ධයෙන් විධිමත් ආකාරයෙන් ක්‍රියා කර ඇතිදැයි සොයා බලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ ප්‍රධානියෙක් 'අද'ට පවසා සිටියේය.
මෙම චෙක්පත්වලට අදාළව මුදල් ගෙවන්නේද යන්න අප ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් විමසූ අතර, එම උත්සාහය ව්‍යර්ථ විය. පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරොම් ජයරත්න මහතාගෙන් අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර, ඔහු පවසා සිටියේ එය තමන්ගේ විෂය පථයට අදාළ කරුණක් නොවන හෙයින් නිසි බලධාරී කමල් පද්මසිරි මහතාගෙන් විමසීමක් කරන ලෙසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිසි බලධාරියා වන කමල් පද්මසිරි මහතා මේ සඳහා අනුමැතියක් ලබා දෙන්නේද යන්න පිළිබඳව 'අද' පුවත්පත ඔහුගෙන් විමසීමක් කළ අතර, ඔහුගේ දුරකථනය ඊට ප්‍රතිචාර නොදැක්වීය.
කෙසේ වෙතත් හිටපු පරිපාලනය නිලවරණය අත්හිටුවීම වළක්වා ගැනීමට නඩු කතා කළ නීතිඥ කණ්ඩායමට රුපියල් මිලියන 12කට වැඩි නඩු ගාස්තු ගෙවන ලෙස නියෝග කිරීම කොතරම්දුරට සදාචාරාත්මකද යන්න පිළිබඳව ඇත්තේ ගැටලුවකි. ඊට හේතුව වන්නේ ඔවුන් මේ වන විටත් පරිපාලනයේ නොමැති වීමයි. මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ කමිටු වාර්තාවකින්ද පෙන්වා දී ඇත්තේ එවැන්නක් සිදුකිරීම ගැටලුකාරී බවයි.