ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට හොඳින් දක්ෂතා නොදක්වන නමුත් රටක් වශයෙන් මේ අවස්ථාවේදී ඔවුන් හා සිටිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ, ඊයේ (18දා) පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල පුද්ගලික සත්කාරක නිෂ්පාදන සහකරු වශයෙන් බ්ලැක් නයිට් එක්වීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදීය.
එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට හොඳ විනයක් තිබෙන බවත්, ආචාරධර්ම ආරක්ෂා කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.
"ක්‍රීඩකයන්ගේ ජීවන රටාව තරමක් තියුණුයි. ඔවුන් හොඳින් පුහුණු වෙනවා. හොඳින් වැඩ කරනවා. මේ අවස්ථාවේ ඔවුන් හොඳින් දක්ෂතා දක්වන්නේ නෑ. නමුත් රටක් ලෙස අපි මේ අවස්ථාවේදී ඔවුන්ට උදව් කළ යුතුයි. අපි උපරිම අයුරින් ආචාර ධර්ම ආරක්ෂා කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට හොඳ විනයක් තිබෙනවා. ඒ ගැන අපි ආඩම්බර විය යුතුයි. ඔවුන් හොඳින් හැසිරෙනවා."යැයි පවසා සිටියේය.
මෙහිදී නව ගිවිසුම්ගත වීම පිළිබඳව අදහස් දැක්වූ ලේකම්වරයා පැවැසුවේ, "ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනට අනුග්‍රාහක ගිවිසුම් මගින් එන මුදල් හරහා රටේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. නව ගිවිසුම හරහා ජාතික කණ්ඩායමටත් වඩා ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේත්, 19 පහළ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේත් පෞද්ගලික සංවර්ධනය ගැන අපි අවාධානය යොමු කරනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට එන බොහෝ දරුවන් කොළඹින් පිට අය. ඒ අයව සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා." යනුවෙනි.
බ්ලැක් නයිට්, කැපිටල් මහරාජා සමාගමේ ඉන්ටර්නැෂනල් කොස්මෙටික් පුද්ගලික සමාගම විසින් බෙදාහරිනු ලබන අතර ඔවුන් ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායමේ අනුග්‍රාහක ලෙසද කටයුතු කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හා බ්ලැක් නයිට් එක්වූ ගිවිසුමේ කාලසීමාව වසර තුනකි.
මෙම අවස්ථාව සඳහා ඉන්ටර්නැෂනල් කොස්මෙටික් සමාගමේ සමූහ අධ්යක්ෂ කිරුභා කුලසිංහ, කැපිටල් මහරාජා සමාගමේ සමූහ අධ්යක්ෂ මොහාන් භරාරා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අලෙවි හා සන්නිවේද ප්‍රධානී වජිර දසනායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගීවූහ.