දිල්ලි කණ්ඩායම මෙවර පැවැති ඉන්දීය ප්‍රිමීයර් ලීග වෙන්දේසියේදී දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස් මිලට ගත්තේ ඉන්දිය රුපියල් කෝටි 7 ක් තරම් වූ ඉහළ අගයකටය. එය මෙවර වෙන්දේසියේදී ක්‍රීඩකයෙකු අලෙවි වූ තෙවැනි වැඩිම වටිනාකමද වෙයි.
ඔහුට එවැනි මිලක් වැය කිරීම පිළිබඳව බොහෝදෙනෙකු චකිතයකින් කතා කළත් ඒ සඳහා සාවධාන පිළිතුරක් සැපයීමට ක්‍රිස් මොරිස් ඊයේ සමත්වූයේ දිල්ලි කණ්ඩායම අනිවාර්යයෙන්ම පරාජයවීමට ගිය තරගයක් සිය 'මැජික්' බලයෙන් ලකුණක පරාජයක් බවට පරිවර්තනය කිරීම හේතුවෙනි.
දිල්ලිහි ෆේරොස් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේදී ගුජරාට් ලයන්ස් කණ්ඩායම හා දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම අතර පැවැති තරගයේදී මුලින් පන්දුවට පහරදුන් ලයන්ස් කණ්ඩායම සිය පන්දුවාර 20ට ලකුණු 172ක් රැස්කළේය.
දිල්ලි කණ්ඩායම ලකුණු 173ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි විට ඔවුන්ගේ මුල් කඩුලු හතර ලකුණු 57ක් තුළ බිඳවැටුණි. ඉනිමේ හයවැනි පිතිකරු ලෙස මොරිස් පිටියට පැමිණෙන විට ඔවුන්ට ජයග්‍රහණය සඳහා පන්දු 56කදී ලකුණු 115ක් අවශ්‍යව තිබුණි. ඒ අනුව ඔවුන්ට අනිවාර්යයෙන්ම එක් පන්දුවට ලකුණු 2ක බැගින් ලබාගත යුතුව තිබුණි.
ඉලක්කයෙන් මදකට හො නොසැලුණු මොරිස් දිල්ලි කණ්ඩායම 32කදී ලකුණු 82ක් රැස්කළේය. එයට හතරේ පහර හතරක් හා හයේ පහර 8ක් අන්තර්ගතවිය.නමුත් දිල්ලි කණ්ඩායමට එක් ලකුණක පරාජයක් හිමිවිය. දිල්ලි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු පහකට රැස්කළ හැකිවූයේ ලකුණු 171ක් පමණි.
තරගයේ ජයග්‍රහණයට අවසන් පන්දුවාරයේදී දිල්ලි කණ්ඩායමට ලකුණු 14ක් අවශ්‍ය වූ අතර සම කිරීම සඳහා ලකුණු 13ක් අවශ්‍ය විය. එහෙත් අවසන් පන්දුවාරයේදී දිල්ලි කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 12ක් පමණි.