2015 ජනවාරි මස නවසීලන්තයේ පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් මාස 5ක පමණ දිගු විවේකයකින් පසුව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද (17දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් ක්‍රිකට් තරග බිමට පිවිසේ.
ශ්‍රී ලංකාවේදී ඔවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයකට අවතීර්ණ වන්නේ මාස 10කට පමණ පසුවය. ඒ අවසන් වරට ශ්‍රී ලංකාවේදී මුණගැසුණු පාකිස්තානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සමගිනි. පාකිස්තානු කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවද නවසීලන්තය සමග පැවැති ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස පරාජය වැලඳ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
අදින් ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අනාගතය තීරණය කරනු ලබන තරගාවලියක් වනු ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම හේතුවෙන් හිස්වූ ඔහුගේ ස්ථානයට සුදුසු යොවුන් ක්‍රීඩකයෙකු තෝරාගැනීමේ සමය මෙම තරගාවලියෙන් ආරම්භ වේ.
මහේලගේ ස්ථානය වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ ළහිරු තිරිමාන්න ඉදිරියෙන්ම පසුවෙති. අංක 5 ස්ථානයේ ඇන්ජලෝ මැතිව්ස් හොඳින් ක්‍රීඩා කරමින් සිටින හෙයින් ළහිරු තිරිමාන්න හෝ අද තරගයට ක්‍රීඩා කරන්නේ නම් දිනේෂ් චන්දිමාල් අතරින් කෙනෙකු අංක 4 ස්ථානයට තෝරාගැනීමට වැඩි අවස්ථාවක් ඇත. අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත ඉන්දීය තරග සංචාරයේ පළමු තරගයෙන් පසුව කුමාර් සංගක්කාර ටෙස්ට් තරග බිමටද සමුදීමට සූදානමින් සිටින බැවින් ඔහුගේ ස්ථානයට ළහිරු තිරිමාන්න වඩාත් සුදුසු බැවින් අංක 4 ස්ථානයට මේ වනවිට කණ්ඩායමේ සිටින සුදුසුම ක්‍රීඩකයා දිනේෂ් චන්දිමාල්ය. ඔහුට ඒ සඳහා අවස්ථාවක් ලබාදීම කණ්ඩායම් නායකයාගේ සහ පුහුණුකරුගේ වගකීමකි.
මේ වනවිට පෙනෙන්නට තිබෙන තත්ත්වය අනුව ළහිරු තිරිමාන්න අංක 4 ස්ථානයෙත් දිනේෂ් චන්දිමාල් අංක 6 ස්ථානයෙන් ක්‍රීඩා කරනු ඇතැයි අපගේ විශ්වාසයයි. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරණ සංයෝගය සඳහාද මේ වනවිට ප්‍රබල තරගයක් නිර්මාණය වී ඇත. අද තරගයේ දී කෞෂාල් සිල්වා ආරම්භක පිතිකරු ලෙසින් කටයුතු කරනු ඇතැයි විශ්වාස කළ හැකිය. එහෙත් කෞෂාල් සිල්වාගේ සගයා සඳහා දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා අතරද තරගයක් නිර්මාණය වී ඇත. පසුගිය තරගාවලිය කිහිපය පුරාවටම කුසල් ජනිත් ලකුණු අතර සිටින බැවින් කෞෂාල්ගේ සගයා ලෙසින් ටෙස්ට් වරම් හිමිකර ගැනීමට කුසල්ට වැඩි අවස්ථාවක් ඇත.
එසේ ඔහුට අවස්ථාව හිමිවුවහොත් පසුගිය තරගාවලි සියල්ලම අමතක කර නිදහස් මනසකින් ක්‍රීඩා කිරීම කුසල් ජනිත්ගේ ක්‍රිකට් අනාගතයට සුබදායකය. තවද අද තරගයේදී කණ්ඩායමේ ස්ථානයක් වෙනුවෙන් ජෙහාන් මුබාරක් සහ කිත්රුවන් විතානගේද ප්‍රබල සටනක් දියත් කරමින් සිටිති. ඔවුන් දෙදෙනාද පසුගිය ප්රමුඛ පෙළ තරගාවලියේ දී මෙන්ම පුහුණු තරගවලදීද ලකුණු අතරට පැමිණෙමින් තේරීම් කමිටුවේ අවධානය තමන් වෙත නතු කරගැනීමට සමත්වූහ. ඔවුන් දෙදෙනා අතරින් යම් හෙයකින් ජෙහාන් මුබාරක් අද තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමිකර ගතහොත් එයද වාර්තාවක් වීමට බොහෝදුරට ඉඩ ඇත. ඒ වසර 8 ට පමණ පසු ජෙහාන් මුබාරක් නැවත වරක් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට පිවිසෙන බැවිනි.
සුපුරුදු පරිදි මෙම ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදීද පන්දු යැවීමේ බළඇණියේ වැඩි බරක් රංගන හේරත් මත පැටවෙනු ඇත. එමෙන්ම ඔහුගේ සහායකයා ලෙස පළමු තරගයට දිල්රුවන් පෙරේරා ක්‍රීඩා කරනු ඇතැයි අපගේ විශ්වාසයයි. තවද වේගපන්දු යවන්නන් ලෙස ධම්මික ප්‍රසාද් සහ නුවන් ප්‍රදීප් ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් ඇත.
පාකිස්තානු කණ්ඩායම දෙස අවධානය යොමු කිරීමේදී යුනිස් ඛාන් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කරන පාකිස්තානු පිතිකරුවා විය හැකි බව අපගේ හැඟීමයි. යුනිස් ඛාන් ශ්‍රී ලංකාවේදී මෙන්ම, ශ්‍රී ලංකාවෙන් පිටතදීද ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව හොඳින් දක්ෂතා දක්වා ඇති බැවින් මෙම තරගාවලියේදීද ඔහු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරනු ඇත.
තරගාවලිය ආරම්භයේදී පාකිස්තානු පිතිකරණ සංයුතිය ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තරමක් ඉදිරියෙන් පසුවේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ කුමාර් සංගක්කාර හැරෙන්නට සෙසු පිතිකරුවන් තවමත් අත්දැකීම් ලබමින් සිටින අතර පාකිස්තානු පිතිකරුවන් අතරින් යුනිස් ඛාන්, මිස්බා උල් හක්, මොහොමඩ් හෆීස් සහ අසාද් සෆීක් අත්දැකීම් ඇති පිතිකරුවන් බැවින් ඔවුන්ගෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ප්‍රබල අභියෝගයක් එල්ල වනු ඇත. එමෙන්ම පාකිස්තානු තරුණ ක්‍රීඩකයන් අතරින් උපනායක අසර් අලී, කඩුලු රකින ක්‍රීඩක සෆ්රාස් අහමඩ් සහ අහමඩ් ශේෂාඩ්ද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අභියෝගයක් එල්ල කළහැකි පිතිකරුවෝ වෙති.
පාකිස්තානු කණ්ඩායමට ගැටලුවක්ව ඇත්තේ අත්දැකීම් ඇති දඟ පන්දු යවන්නනෙකු කණ්ඩායම තුළ නොමැතිවීමයි. විශේෂයෙන්ම සයිඩ් අජ්මාල් කණ්ඩායම තුළ නොසිටීම පාකිස්තානු කණ්ඩායමට ප්‍රබල අවාසියකි. එහෙත් වහබ් රියාස්ගෙන් සහ ජුනයිඩ් ඛාන්ගෙන් එම අඩුව සම්පූර්ණ වුවහොත් එය
ශ්‍රී ලංකා කණ්ඩායමට ගැටලුවකි. කෙසේ වෙතත් පාකිස්තානු කණ්ඩායමේ පිතිකරණයට වඩා පන්දු යැවීමේ අංශය මේ වනවිට යම් දුර්වල මට්ටමක පවතියි.
ඡායාරූප- ශාන්ත රත්නායක