මෙම වසරේ ආරම්භ වන එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී ප්‍රවේශපත්‍ර ගාස්තුව රු. 5000ක් ලෙස සටහන් කර තිබියදී විදෙස් ප්රේක්ෂකයන්ගෙන් එක් සමාගමක් එම ගාස්තු දෙගුණයකින් ඉහළ දමා රු.10,000කට විකුණන බව 'අද'ට කරුණු අනාවරණය වේ.
මෙහිදී වායු සමීකරණය නොකළ එක් ආසනයක සිටිමින් ටෙස්ට් තරගයක් නැරඹීමට රු. 50000කට වැඩි ප්‍රවේශපත්‍ර ගාස්තුවක් අදාළ සමාගම අය කරන බවට වාර්තා වේ.
මේ හේතුවෙන් අදාළ සංචාරය සඳහා එංගලන්තයෙන් පැමිණෙන විදෙස් ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව 4,000 සිට 1,500 දක්වා අඩුව ඇතැයි අනාවරණය වේ.
2007 වසරේදී එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කරන විට විදේශිකයෙක් සඳහා ප්‍රවේශපත්‍රයක අවම ගාස්තුව පැවතුණේ දිනකට රු. 2500ක් වශයෙනි. අනතුරුව 2012 වසරේදී එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කරන විට විදේශිකයෙක් සඳහා ප්‍රවේශපත්‍රයක අවම ගාස්තුව දිනකට රු. 5000ක් දක්වා වැඩි කර තිබුණි. කෙසේ වෙතත් මෙම වසරේ නොවැම්බර් මස මෙරට සංචාරයක නිරත වන එංගලන්ත කණ්ඩායමේ සහායට පැමිණෙන ප්‍රේක්ෂකයන් (දිරිගන්වන්නන් සහ විදෙස් ප්‍රේක්ෂකයන්) සඳහා ක්‍රිකට් ආයතනයෙන් එක් විදේශිකයෙකුගේ ප්‍රවේශපත්‍රයක අවම ගාස්තුව දිනකට (වායු සමීකරණය නොකළ) රු. 5,000ක් ලෙස තබා තිබියදී තරගාවලියේ සත්කාරකත්ව කොන්ත්‍රාත්තුව ලබාගත් මෙරට එක් සමාගමක් එම දිනක ප්‍රවේශපත්‍ර ගාස්තුව රු. 10,000ක් දක්වා වැඩි කර තිබීම ගැටලුකාරී වාතාවරණයක් මතුකර තිබේ.
මෙහි පවතින විශේෂත්වය වනුයේ අදාළ ප්‍රවේශපත්‍රයේ ගාස්තුව රු. 5,000ක් ලෙස සටහන් කර තිබුණද විදේශිකයන්ට එය අලෙවි කරනුයේ රු. 5,000ක සැඟවුණු ගාස්තුවක් ඊට ඇතුළත් කරමින් රු. 10,000කට වීමයි.
මෙහිදී විදේශිකයන්ට ලැබෙන ප්රතිලාභ ලෙස දක්වා ඇත්තේ බීර 06ක වවුචරපත් (06 Drink Vouchers) සහ තරගාවලිය සඳහා ලබාදෙන හිස්වැසුම (Tour Cap) පමණි. දිනකට රු. 10,000 බැගින් දින 05ක ටෙස්ට් තරගයක් නරඹන විදේශිකයෙකු අවම රු. 50,000ක මුදලක් ගෙවීම නිසා මෙවර එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා මෙරටට පැමිණීමට සංචාරකයන් පවා අදිමදි කරන තත්ත්වයක් මතුව තිබේ.
2007 සහ 2012 යන වසරවලදී පැවැති ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරග නැරඹීමට මෙරටට පැමිණි අවම ප්‍රේක්ෂක සංඛ්‍යාව 4,000කට වැඩි වුවද මෙවර එය මෙවැනි ආකාරයෙන් දෙගුණ තෙගුණ කර මුදල් අය කිරීම නිසා 1500කටත් අඩු සංඛ්‍යාවක් දක්වා පහත වැටී ඇතැයි වාර්තා වේ.
වෙනත් වසරවලදී මේ වන විට ප්‍රවේශපත්‍ර සඳහා සියලුම වෙන් කිරීම් නිමා වුවද මෙවර එය 1500කටත් අවම සංඛ්‍යාවක් වීම හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයටද ඍජු බලපෑමක් මෙහිදී සිදු කර එල්ල වී තිබේ.
වායු සමීකරණය නොකළ එක් ආසනයක් සඳහා මෙලෙස විදේශිකයන්ගෙන් මුදල් අය කිරීම අසාධාරණ ලෙස මුදල් කොල්ලකෑමක් ලෙසද සමහරු හඳුන්වා දෙති. මෙහිදී ප්‍රවේශපත්‍ර අලෙවි සහ සත්කාරකත්වය දරන සමාගම පමණක් අසාධාරණ ලෙස විදේශිකයන්ගෙන් මුදල් අය කරමින් සිය ලාභය තර කරගෙන ඇති බව පෙනී යන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමහර නිලධාරීන්ට මෙමගින් අනිසි ආකාරයෙන් මුදල් හිමිව ඇති බවටද කරණු අනාවරණය වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද මෙම සත්කාරකත්ව කොන්ත්‍රාත්තුව ලබාදීමෙදී පිළිගත් ක්‍රමවේදවලින් බැහැරව කටයුතු කර ඇති බවට වාර්තා වේ. එහිදී මෙම කොන්ත්‍රාත්තුව සඳහා පුවත්පත්වල දැන්වීම් පළ කිරීමේදී ඒ සඳහා අයදුම් කිරීමට දින 10ක කාලයක් ලබාදිය යුතු වුවත් ලබාදී තිබුණේ දින 05ක් වැනි කෙටි කාලයකි. කෙසේ වෙතත් තරගාවලියේ ප්‍රේක්ෂක සත්කාරකත්වය සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කළ වෙනත් සමාගම් සහ විදේශිකයන්ට සත්කාර සහ අනෙකුත් පහසුකම් සපයන ආයතනවලටද මෙමගින් දැඩි අසාධාරණයක් සිදුව ඇති බවට ආයතන කිහිපයක් චෝදනා කරයි.
මෙම ටෙස්ට් තරගාවලියට ටෙස්ට් තරග 03ක් (පළමු තරගය නොවැ.06-10 දක්වා ගාල්ලේදී, දෙවැනි තරගය නොවැ.14-18 දක්වා පල්ලෙකැලේදී, සහ තෙවැනි තරගය නොවැ. 23-27 දක්වා කොළඹදී) ඇතුළත්ව ඇති අතර වායු සමීකරණය නොකළ ආසනයක් සඳහා එක් විදෙස් ප්‍රේක්ෂකයෙක් ටෙස්ට් තරග තුන සඳහා රු. එක් ලක්ෂ පනස් දහසක (රු.150,000) මුදලක් ගෙවයි. මෙමගින් ක්‍රිකට් ආයතනයට හිමිවනුයේ රු. හැත්තෑ පන්දහසක (රු.75,000) මුදලක් හෙවත් එම මුදලින් අඩක් පමණි.
මීට අමතරව වායු සමීකරණය නොකළ ආසනයක් සඳහා එක් විදෙස් ප්‍රේක්ෂකයෙකු එක් දිනකට ඇමෙරිකානු ඩොලර් 70ක් හෙවත් අවම රු.11044ක මුදලක්ද (දින 03ක් හෝ ඊට අඩුවෙන් තරගය නරඹනවා නම්), වායු සමීකරණය කළ එහෙත් සත්කාරක සංග්‍රහ නොමැතිව ආසනයක් සඳහා එක් විදෙස් ප්‍රේක්ෂකයෙක් එක් දිනකට ඇමෙරිකානු ඩොලර් 80ක් හෙවත් අවම රු.12,622ක මුදලක්ද, වායු සමීකරණය කළ එහෙත් සත්කාරක සංග්‍රහ නොමැතිව ආසනයක් සඳහා එක් විදෙස් ප්‍රේක්ෂකයෙක් එක් දිනකට ඇමෙරිකානු ඩොලර් 85ක් හෙවත් අවම රු.13411ක මුදලක්ද (දින 03ක් හෝ ඊට අඩුවෙන් තරගය නරඹනවා නම්), වායු සමීකරණය කළ සහ සත්කාරක සංග්‍රහ සමග ආසනයක් සඳහා එක් විදෙස් ප්‍රේක්ෂකයෙක් එක් දිනකට ඇමෙරිකානු ඩොලර් 145ක් හෙවත් අවම රු.22878ක මුදලක්ද, සත්කාරක සංග්‍රහ සමග ආසනයක් නොමැතිව එක් විදෙස් ප්‍රේක්ෂකයෙක් එක් දිනකට ඇමෙරිකානු ඩොලර් 105ක් හෙවත් අවම රු.16566ක මුදලක්ද, මේ අනුව එක් දිනකට ගෙවීමට විදෙස් ප්‍රේක්ෂකයන්ට සිදුව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයවත් මෙවැනි ආකාරයෙන් අසාධාරණ ලෙස මුදල් අය කරමින් විදෙස් ප්‍රේක්ෂකයන්ව පීඩනයට පත් කිරීම පිළිබඳව අධීක්ෂණයක් නොකරන්නේ ඇයිදැයි යන්න සම්බන්ධයෙන් ඇත්තේ කුකුසකි. ක්‍රිකට් ආයතනයට මෙමගින් රු. මිලියන 05ක් හිමිවන විට අපේක්ෂිත ප්‍රේක්ෂකයන් පැමිණියහොත් අදාළ සමාගම රු. මිලියන 50කට වැඩි ලාභයක් උපයයි. එනිසා සිදුකළ යුතු වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංචාරක අමාත්‍යාංශය සමගින් එක්ව මෙරටට පැමිණෙන විදෙස් ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව වැඩි කර ගැනීමේ උපායමාර්ග සැකසීමයි. සමාගම්වල ලාභය තර කර ගන්නවා විනා මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීමට දැන්වත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ සංචාරක අමාත්‍යාංශය එක්ව මීට වැඩසටහන් ඉදිරිපත් කළ යුතුය. ඊට හේතුව වනුයේ මෙම විදෙස් ප්‍රේක්ෂකයන් මෙරටට පැමිණෙනුයේ හුදෙක් ටෙස්ට් තරග නැරඹීමට නොවන හෙයිනි. කෙසේ වෙතත් මේ සම්බන්ධව බලධාරීන් ඇස්කන් පියාගෙන සිටීම කනගාටුවට කරුණකි.
ටිකට් එකක්වත් විකුණුවේ නැති වුණත් අපිට අපේ මිලියන පහ ලැබෙනවා - ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන ප්‍රධානී අරුණ ද සිල්වා
මේ සම්බන්ධව අප ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන ප්‍රධානී අරුණ ද සිල්වා මහතාගෙන් විමසීමක් කළ අතර, එහිදී ඒ මහතා මෙසේ අදහස් පළ කළේය.
පත්තරවල පළ වූ දැන්වීම් හරි. ටිකට් කීයද අලෙවි වෙලා තියෙන්නේ කියන එක පැත්තකට දාමු. අපි තවම දන්නෑනේ කීයක්ද හරියටම අලෙවි වෙලා තියෙන්නේ කියලා.
අපි අවුරුද්දෙ මුල් කාලෙදිම දැන්වීමක් දැම්මා අපේ අන්තර්ජාතික තරගවලට අපි ලබාදෙන සේවාවන් ගැන සඳහන් කරලා. කැමැත්තක් තියෙන අයට ඊට අදාළ කෝටේෂන් එවන්න කියලා අපි පළවැනි දැන්වීම දැම්මා. නමුත් ඒ දැන්වීමට එකම එක්කෙනෙක් පමණයි ඇවිත් තිබුණේ. ඔවුන් කැමති වුණේ එක්දින තරගවල සත්කාරක සංග්‍රහ කිරීමටයි. ඒ නිසා අපි එම සමාගමට එය දුන්නා. නමුත් අපට ඕන වුණා එංගලන්ත හා දකුණු අප්‍රිකානු තරගාවලි සඳහා ටෙස්ට් තරගවලටත් කවුරුහරි හොයාගන්න. ඒකට අපි තව දැන්වීමක් දැම්මා.
ඒකටත් ආවා තවත් ආයතනයක්. ඉන්පසු අපට මාර්කටින් එකෙන් කතාකරලා කිවුවා ටෙස්ට් මැච් එකක් නිසා වැඩි වටිනාකමකට දෙන්න, නැතිනම් අපට අමාරු වෙයි කියලා. ඒ සියල්ලටම මේ සමාගම එකඟ වුණා. ඒ අනුව තමයි අපි ගිවිසුමක් අත්සන් කළේ. එයාලා කිවුවා අඩුම තරමේ ආසන 4000ක්වත් ඇලෝකේට් කරන්න ඕන කියලා. ඇත්තටම ගාල්ලේ ධාරිතාවම තියෙන්නේ ආසන 6000යි. එස්.එස්.සී. එකෙත් අපි ආසන 4000ක් පමණ හදන්නම් කිවුවා. පලේලෙකැලේටත් අපි ඒක කිවුවා, මොකද ඒ වගෙ ධාරිතාව තියෙන නිසා.
ඉන්පසු එම සමාගම කිවා 3000ක් වෙනකම් ටිකට් විකිණුණොත් අපට රු. මිලියන 05ක මුදලක් ගෙවනවා කියලා. ඒ වගේම ටිකට් 4000ක් විකිණුණොත් තවත් රු. මිලියන 2.5ක් අපිට ගෙවනවා කියලා. එක ටිකට් එකක් විකිණුණත් ඔවුන් අපිට රුපියල් මිලියන 05ක් අනිවාර්යයෙන් ගෙවනවා. මේක ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ලාභයි.
ඔවුන් වැඩිපුර ගානක් ප්රේක්ෂකයන්ගෙන් අය කරනවා කියලා චෝදනාවක් තිබෙනවානේ. ඇත්තටම අපිට රුපියල් 5000ට අපේ ගාණ ලැබෙනවා නම්, රජයේ බද්ද අපිට ගෙවන්න ලැබෙනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඔවුන් වැඩි ගාණට ටිකට් එක විකුණන එක අපිට පාලනය කරන්න බැහැ. ටිකට් වික්කත් නැතත් අපට ඒ සල්ලි ටික එනවා.
ඇත්තටම දැන්වීමට අපි වැඩි කාලයක් දුන්නා. ඒත් කවුරුවත් අවේ නැහැ. අපි කියන්නේ මේ එක ටිකට් එකක්වත් විකුණුවෙ නැති වුණත් අපිට අපේ මිලියන පහ ලැබෙනවා. මෙහි අධීක්ෂණයක් වෙනවා 5000 ටිකට් එකට. වටිනාකම් එකතු කරන්නේ නැතිව 6000ට විකුණුවොත් ඒක වැරදියි.