පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ ප්‍රධාන අරමුණ ඇතිව ක්‍රිකට් නිලවරණයේ උපසභාපති තනතුර සඳහා තරග වැදීමට තීරණය කළ බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පැවසීය.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති තනතුර වෙනුවෙන් නාමයෝජනා භාරදීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයට අද (04දා) උදෑසන පැමිණි අවස්ථාවේදී රණතුංග මහතා මාධ්‍ය වෙත මෙම අදහස් දක්වා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස දැක්වූ අමාත්‍යවරයා,
"මට රටෙන්ම විශාල ඉල්ලීම් කළා සභාපති ධුරයට ඉදිරිපත් වෙන්න කියලා. නමුත් ක්‍රිකට් ආයතනයේ නීතියක් තිබෙනවා සභාපති තනතුර තරග වදිනවා නම් විධායක සභාවේ වසර දෙකක් සේවය කළ යුතුයි කියලා. එහෙත් අවශ්‍ය නම් මට තිබුණා ක්‍රීඩා ඇමතිවරයාට කියලා ඒ අවසරය වුවත් ලබාගන්න. නමුත් ජනවාරි 08 වැනිදා යහපාලන ආණ්ඩුව හැදුවෙ යම්කිසි දෙයකට අපිට සුදුසුකම් නැතිනම් ඇමතිවරයා, අගමැතිවරයා හෝ ජනාධිපතිවරයාට කියලා ඒ දේවල් කරගන්න නෙමෙයි" යැයි පැවසීය.
තමන්ගේ ජීවිතයේ ප්‍රධාන දෙයක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව තවමත් හදවතේ තිබෙන බවත්, එය අමතක කර සිටිය නොහැකි බැවින් නිලවරණයට ඉදිරිපත් වීමට තීරණය කළ බව පෙන්වා දුන් රණතුංග මහතා, අනාවරණය කර සිටියේ, පාසල් ක්‍රිකට් පද්ධතිය තමන් භාරගන්නා බවයි. ඒ සඳහා තමන් සමග ක්‍රීඩ කළ ප්‍රවීණ ක්‍රීඩකයන් හා පසුගිය කාලයේ ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් අය පුහුණුකරුවන් ලෙස සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පවසා සිටියේය.
"මගේ ජීවිතයේ ප්‍රධාන දෙයක් හැටියට ක්‍රිකට් ක්‍රීඩාව හදවතේ තාමත් තියෙනවා. ඒක අමතක කරලා පැත්තකින් තියලා ඉන්න බැරි නිසයි මේ කණ්ඩාමත් එක්ක එකතුවෙලා නිලවරණයට එන්න තීරණය කළේ. මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා පාසල් ක්‍රිකට් පද්ධතියට වැඩි අවධානයක් යොමුකරන්න. එම නිසා මම පාසල් ක්‍රිකට් භාරගෙන, මාත් සමග සමකාලීනව ක්‍රීඩා කරපු ප්‍රවීණ ක්‍රීඩකයන්, පසුගිය කාලයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය ක්‍රිකට් ක්‍රීඩාව ගැන දැනුම තිබෙන පුද්ගලයන් පුහුණුකරුවන් ලෙස සම්බන්ධ කරගෙන පාසල් ක්‍රිකට් පද්ධතිය දියුණු කරන්න කටයුතු කරනවා. වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ අපට තවත් ලෝක කුසලානයක් දිනාගන්න පුළුවන් අවස්ථාවක් නිර්මාණය කරගැනීම තමයි මගේ තිබෙන එකම බලාපොරොත්තුව.
මේ නිලවරණයට ජනාධිපතිතුමාවත්, අගමැතිතුමාවත් කිසිම කෙනෙක් ඇඟිලි ගහන්නෙ නෑ. පසුගිය කාලයේ සිදුවූ දේවල් ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා කරන්නෙ නැහැ කියලා ඉතාමත් වගකීමෙන් කියනවා. අපට අවශ්‍ය ක්‍රිකට් ක්‍රීඩාව හදන්න. එම නිසා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා ක්‍රිකට් ක්‍රීඩාව හදන්න අවශ්‍ය නම් මේ කණ්ඩායමත් සමග එක්වෙන්න කියලා" යැයි රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අතුරු කමිටුව පත්කිරීමට පෙර මෑතක් වනතුරුම ක්‍රිකට් පරිපාලනය දැඩි ලෙස විවේචන කළ අර්ජුන රණතුංග මහතා, එම පරිපාලනයේම ලේකම් ලෙස කටයුතු කළ සහෝදර නිශාන්ත රණතුංග පාර්ශ්වයෙන් උපසභාපති තනතුරට තරග වැදීමට තීරණය කළේ ඇයිදැයි අපි විමසා සිටියෙමු.
ඊට පිළිතුරු දුන් අර්ජුන මහතා,
"අපි ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්නවා නම් සමහර දේවල් විවේචනය කරන්න ඕන. මම ප්‍රධාන දේවල් ලෙස දකින්නෙ, අපි හදන්න ඕන ක්‍රිකට් ක්‍රීඩාවට මූලිකත්වය ලබාදීලා මුදල දෙවැනිට තබන සංස්කෘතියක්. ඒක තමයි මට තිබෙන ප්‍රධාන අභියෝගය ඉදිරියේදී. ඒක පාසල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ආරම්භ කරන්න ඕන. ක්‍රීඩකයන්ගේ මනස තියෙන්න ඕන අපි ක්‍රීඩාංගණයට යනකොට කොහොමද රටට ජයග්‍රහණ ගේන්නෙ කියන එක. අපට ලෝක කුසලානයක් (1996) දිනන්න හැකියාව ලැබුණේ අපි මුදලක් ගැන කවදාවත් හිතුවෙ නැති නිසා. එමනිසා වත්මන් තත්ත්වය අපි වෙනස් කරන්න ඕන. පසුගිය කාලයේ යම් යම් වැරදිවෙලා තිබෙනවා නම් අපි ඒවා හදන්න ඕන. අපි පැත්තකට වෙලා හිටියොත් මේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න බැහැ" යැයි පැවසීය.