ජාත්‍යන්තර තරගයකදී ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක රන් පදක්කමක් දිනා ගැනීමෙන් රටට ලබාදෙන්නේ සුවිශේෂී ගෞරවයක්. නමුත් බොහෝ ක්‍රීඩකයන් රන් පදක්කම් කරා ගමන් ගන්නේ රෝස මල් ඇතිරූ මට සිලිටු මාර්ගවල නම් නොවේ. ඇතැම් රන් පදක්කම් පසුපස නෙතට කඳුළු උනන කතාද තිබේ. දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ වේගවත්ම කාන්තාව බවට පත්වූ රුමේෂිකා රත්නායකගේ ජයග්‍රහණය පසුපසද එවැනි කඳුළු කතාවක් තිබේ. %ආසියානු කළු වෙළඹ^ යනුවෙන් අර්ථ ගන්වමින් ලෝව පුරා නමක් තැබූ කෙටිදුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ බිහිවූ කෑගලු දිස්ත්රික්කයෙන්ම ඇයද ක්‍රීඩාවට පැමිණියාය. මේ රුමේෂිකාගේ ජයග්‍රහණය පසුපස තිබෙන කතාව ඇගේ පියා විසින් ‘අද’ට දිගහැරි අයුරුය.
"මගේ ලොකු දුව තමයි මෙවර දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව වුණේ. ඒ දවස්වල මම කරපු කැප කිරීමත් එක්ක අද මම පුදුමාකාර සතුටකින් ඉන්නේ" පවසමින් රුමේෂිකාගේ පියා ආර්.එම්. අබේරත්න (48) මහතා අප කතාව ආරම්භ කළේය.
"මම මේ වෙන කොට වරකාපොළ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් නිලධාරියෙක්. මට මේ දරුවා මේ තත්ත්වයට ගේන්න පුදුමාකාර කැපවීමක් කරන්න සිදුවුණා. ලොකු දුව පුංචි කාලෙම එයාගේ ක්‍රියාකාරකම් දිහා බලාගෙන හිටපු මට හොඳින් තේරුම් ගන්න පුළුවන් වුණා මෙයා ක්‍රීඩාවට ගොඩක් දක්ෂයි කියලා. ඒ වගේම පුංචි කාලෙ එයා ඉදිරිපත් වෙන හැම තරගයකින්ම වගේ ජයග්‍රහණය කරනවා. මමත් කොච්චර අගහිඟකම් තිබුණත් මගේ දරුවට මට පුළුවන් විදියට ක්‍රීඩාවලට වුවමනා දේවල් අරගෙන දුන්නා.
නමුත් දෙන්න බැරි වුණ දේවල්ද අනන්තයි. දරුවා යමක් ඉල්ලලා මට ඒ දේ දෙන්න බැරි වුණ වෙලාවට මට හිතෙන දුක දරාගන්න බැරි වුණ අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ වෙලාවට මම තනියම අඬපු අවස්ථාද තියෙනවා. අදටත් මම ඉන්නේ කුලී ගෙදරක. මගේ බිරිඳ රැකියාවක් කරන්නෙ නැහැ. මාසයක් ගාණෙ ගෙවල් කුලී ගෙවාගෙන අදටත් ජීවත් වෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් මම ගන්නා වැටුපෙන්. මට තිබුණු හැමදේම මේ දරු දෙදෙනා වෙනුවෙන් මම විකුණලා එයාලට උගන්නන්න තමයි විදයම් කළේ. අද මටත් මගේ බිරිදටත් දරුවන් දෙන්නටත් අපේ කියලා කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. අමාරුවෙන් හදා ගත්තු රත්තරං බඩු ටික උගස් කරලා තමයි පසුගිය කාලේ දරුවව පුහුණුවීම්වලට එක්කගෙන ගියේ.
ඉස්සර එයා පුහුණුවීම් කළේ කෑගල්ලේ එයාගේ පාසලේ. නමුත් ඒ පිට්ටනිය හදන්න පටන් අරන් තියෙන්නේ. තාමත් වැඩ ඉවර නැති නිසා පුහුණුවීම් කටයුතු කරන්න තැනක් තිබුණෙ නැහැ. එයාගේ ක්‍රීඩා ගුරුතුමිය නන්දා මැඩම් සමහර දවස්වල එයාගේ කාර් එකෙන් කුලියට රියදුරෙකු අරගෙන මගේ දුවව කොළඹ එක්කගෙන යනවා. නැත්නම් බස් එකේ තමයි දුවව පුහුණුවීම්වලට එක්කගෙන ගියේ.
මම ඒ වුණු මහන්සියෙන් ප්‍රතිඵලත් අද මගේ දරුවා ශ්‍රී ලක් මෑණියන්ට අභිමානයක් එක්කරමින් දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව වීම ගැන මට පුදුමාකාර සතුටක් දැනෙනවා.මේ දරුවා අගහිඟකම් මැද මෙවැනි ජයග්‍රහණයක් ලබාගත්තා නම් ඉදිරියේදී අපේ රටට මෙවැනි ජයග්‍රහණ ලබා ගැනීමට නම් අපගේ ක්‍රීඩා කුසලතා වැඩිදියුණු කිරීමට කවුරුන් හෝ අනුග්‍රහයක් දක්වන්නේ නම් මට පහසුවක්" යැයිද ආර්.එම්. අබේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.