අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලිය එළිදැක්වූ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අනුව තවදුරටත් 05 වැනි ස්ථානය රැකගැනීමට ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් සමත්ව ඇත. ඔහු අවසන් වරට සිදුකළ ගණනය කිරීම්හිද මෙම ස්ථානයේ පසුවිය.
ඔහුට අමතරව පළමු දසදෙනා අතර සිටි අනෙක් පිතිකරුවා වූ කුමාර් සංගක්කාර අංක 07 දක්වා පසුබැස ඇත. කෙසේ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සංගක්කාර මේ වනවිට සමුගෙන ඇති බැවින් මෙලෙස ඔහුගේ ස්ථානය තවදුරටත් පහළට වැටී ශ්‍රේණිගතකිරීම්වලින් මැකී යනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පෙරේදා (24දා) අවසන් වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව මෙම ගණනය කිරීම් සිදුකර ඇත.
ඔවුන්ට අමතරව ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණගෙන සිටි එංගලන්තයේ ජෝ රූට් අබිබවමින් නැවතත් අංක එකට පැමිණීමට ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් සමත්ව ඇත. ස්මිත් මීට පෙරද අංක එකට පැමිණ ඇත. නව ශ්‍රේණිගතකිරීම්හි තෙවැනි ස්ථානය දක්වා රූට් පසුබැස ඇති අතර, දෙවැනි ස්ථානයට දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියර්ස් පසුවෙයි.
ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගතකිරීම්හි 23 වැනි ස්ථානයේ පසුවූ දිනේෂ් චන්දිමාල් දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු අතරට නොපැමිණීම හේතුවෙන් ඔහු 30 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත.
ඊට අමතරව ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම්හි 06 වැනි ස්ථානයේ පසුවූ රංගන හේරත් 09 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත. කෙසේ නමුත් දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලු 04 ක් දවාළූ තරිඳු කෞෂාල් 60 වැනි ස්ථානයේ සිට 59 දක්වා පියවරක් ඉදිරියට පැමිණ ඇත.
මෙහි පළමු ස්ථානය තවදුරටත් තහවුරු කරගැනීමට දකුණු අප්‍රිකාවේ ඩේල් ස්ටේන් සමත්ව සිටින අතර, දෙවැනි ස්ථානයේ එංගලන්තයේ ස්ටුවර්ට් බ්‍රෝඩ් හා තෙවැනි ස්ථානයේ නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට් පසුවෙති.
ටෙස්ට් තුන්ඉරියව් ක්‍රීඩකයන් අතර පසුගිය ශ්රේණගතකිරීම්හි පළමු දසදෙනා අතරට පැමිණීමට කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු නොහැකිවුවත්, නව ශ්‍රේණිගතකිරීම්හි 10 වැනි ස්ථානයට ඇන්ජලෝ මැතිව්ස් පැමිණ සිටියි. මැතිව්ස් දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලු 02 ක් හා ශතකයක් සමගින් ලකුණු 125 ක් ලබාගැනීමට සමත්විය. බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් එහි පෙරමුණේ පසුවන අතර, ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් දෙවැනි ස්ථානයේ හා දකුණු අප්‍රිකාවේ වර්නන් පිලැන්ඩර් තෙවැනි ස්ථානයේ පසුවෙති.
ටෙස්ට් පිතිකරුවන්
1. ස්ටීවන් ස්මිත් (ඔස්ට්‍රේලියාව/910), 2. ඒ.බී. ඩිවිලියර්ස් (දකුණු අප්‍රිකාව/890), 3. ජෝ රූට් (එංගලන්තය/889), 4. හෂිම් අම්ලා (දකුණු අප්‍රිකාව/881), 5. ඇන්ජලෝ මැතිව්ස් (ශ්‍රී ලංකාව/867), 6. යුනිස් ඛාන් (පාකිස්තානය/829), 7. කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව/827), 8. කේන් විලියම්සන් (නවසීලන්තය/813), 9. ඩේවිඩ් වෝනර් (ඔස්ට්‍රේලියාව/775), 10. ක්‍රිස් රොජර්ස් (ඔස්ට්‍රේලියාව/761)
ටෙස්ට් පන්දු යවන්නන්
1. ඩේල් ස්ටේන් (දකුණු අප්‍රිකාව/905), 2. ස්ටුවට් බ්‍රෝඩ් (එංගලන්තය/835), 3. ට්‍රෙන්ට් බෝල්ට් (නවසීලන්තය/814), 4. යසීර් ෂාහ් (පාකිස්තානය/810), 5. ජේම්ස් ඇන්ඩර්සන් (එංගලන්තය/807) 6. මිචෙල් ජොන්සන් (ඔස්ට්‍රේලියාව/773), 7. වර්නන් පිලැන්ඩර් (දකුණු අප්‍රිකාව/770), 8. රවිචන්ද්‍රන් අශ්වින් (ඉන්දියාව/769), 9. රංගන හේරත් (ශ්‍රී ලංකාව/748) 10. ටිම් සවුති (නවසීලන්තය/713)