ගුවාතිහි සාග් ක්‍රීඩා පිහිනුම් තටාකය කැළඹූ ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ ඊයේ (08දා) සිය පස්වැනි රන් පදක්කම දිනා ගනිද්දී 12 වැනි සාග් ක්‍රීඩා උලෙළේ සිය තෙවැනි රන් පදක්කම හිමි කරගැනීමට ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩිකා කිමිකෝ රහීම් ඊයේ සමත් වූවාය.එහිදී ඇය ඊයේ දිනයේදී රන් පදක්කම් දෙකක්ම දිනාගැනීමට සමත් වන අතර මීටර 50 නිදහස් ආර කාන්තා ඉසව්වේ ඇය හා තරග වැදුණු ඇගේ සොහොයුරිය වන මචිකෝ රහීම් එහි රිදී පදක්කම අත්කර ගැනීම කැපි පෙනුණි.
කිමිකෝ රහීම්
තත්ත්පර 26.49 කට කිමිකෝ රහිම් තම සාග් වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම් දිනාගත් අතර, මචිකෝ රහීම් තරග නිමි කාලය තත්ත්පර 27.40 ක් ලෙස සනිටුහන් විය.මෙවර සාග් ක්‍රීඩා උලෙළේ දිය කිඳුරා හා දිය කිඳුරිය බවට පත්ව සිටින මැතිව් හා කිමිකෝ නිසාම ශ්‍රී ලංකාව ඊයේ (08දා) ක්‍රීඩා උලෙළේ සිවු වැනි දිනය නිමා වනවිට තවදුරටත් පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටීමට සමත් විය.
මේ අතර මීටර 100 පසුපස ආර කාන්තා ඉසව්වේ රන් පදක්කම කිම්කෝ දිනාගත්තේ විනාඩි1 තත්ත්පර 03.78 කටය. කේවල මිශ්‍රආර මීටර 400 පිරිමි ඉසව්වෙන් ශ්‍රී ලංකාවට පස්වැනි රන් පදක්කම හිමිකර දුන් මැතිව් අබේසිංහ ඒ සඳහා ගත කළ කාලය විනාඩි 4 තත්පර 40.47කි. ඒ අනුව ශ්‍රී ලංකාව ඊයේ දිනය නිමාවේදී රන් පදක්කම් 11 ක් දිනා සිටින අතර, රිදී පදක්කම් 27 ක් හා ලෝකඩ පදක්කම් 25 ක්ද හිමිකරගෙන සිටියේය. එහිදී ශ්‍රී ලංකාව දින තුනකදී එකතු කර ගෙන තිබෙන පදක්කම් ගණන 63 කි.
මැතිව් අබේසිංහ (මැද)
පෙරමුණේ පසුවන ඉන්දියාව රන් පදක්කම් 53 ක් ඊයේ දිනය නිමාවේදී හිමිකරගෙන තිබුණි. බර ඉසිලීම්, වූෂු, පාපැදි යන ඉසව් තුනකදී ශ්‍රී ලංකාව රන් පදක්කම් තුනක් දිනාගැනීම හැරෙන්නට සෙසු සියලු රන් පදක්කම් පිහිනුම් ඉසව්වෙන් දිනා සිටීම කැපී පෙනේ.මෙවර ගුවාතිහි සාග් ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 21 දෙනෙකුගෙන් සමන්විත පිහිනුම් කණ්ඩායමක් සහභාගි කෙළේය. පිහිනුම් තරගාවලිය හෙට (10දා) නිමාවට පත්වේ.
ඊයේ දිනය නිමාවනවිට පමණක් ශ්‍රී ලංකාව පිහිනුම් රිදී පදක්කම් නවයක් හා ලෝකඩ පදක්කම් අටක් හිමිකරගෙන තිබුණි.
මේ අතර ගුවාතිහි සාග් ක්‍රීඩා උලෙළේ ක්‍රීඩා ඉසව් ගණනාවකටම තවදුරටත් ශ්‍රී ලංකාව තරග වදිමින් සිටින අතර, ස්කොෂ් ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කමක්ද බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් කණ්ඩායම් ඉසව්වෙන් රිදි පදක්කම් දෙකක් හා මේස පන්දු ක්‍රීඩාවෙන් එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක්ද ඊයේ ශ්‍රී ලංකාව සතු කරගැනීමට සමත් විය.
ඊයේ දිනයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ සුවිශේෂී සිදුවීම් අතර වොලිබෝල් කාන්තා හා පිරිමි අවසන් මහ තරගවලට සුදුසුකම් ලැබීමයි.
ඊයේ අවසන් පූර්ව වටයේදී පාකිස්තානය වට 3-0 කට පරාජය කරමින් ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබද්දී, මාලදිවයින තරග වට 3-0 කට පරාජය කරමින් ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් අවසන් මහ තරගයට පිවිසීමට සමත් විය. මෙම අවසන් මහ තරගය දෙකේදීම ශ්‍රී ලංකාව ප්‍රතිවාදීන් ලෙස මුණ ගැසෙන්නේ ඉන්දීයාවයි.
මේ අතර ශ්‍රී ලංකාව ඊයේ පාපන්දු (පිරිමි) තරගාවලියේදී මාලදිවයිනට ගෝල 3-1 කින් පරාජය වීම නිසා අවසන් පූර්ව වටය කෙරෙහි තිබූ අවස්ථාවත් අවදානමට ලක්වූ බව පෙනේ.ඒ හේතුවෙන් හෙට (10දා) පැවැත්වෙන ඉන්දීය හා මාලදිවයින අතර තරගය කෙරෙහි ශ්‍රී ලංකාවට අවධානය යොමු කිරීමට සිදුව තිබේ. මෙම තරගයෙන් මාලදිවයින ජයගතහොත් පමණක් ශ්‍රී ලංකාව තරගාවලිය ඉදිරියට යාමේ අවස්ථාව උදාවනු ඇත.
කෙසේවුවත් ශ්‍රී ලංකාව මෙවර සාග් පාපන්දු තරගාවලියේදී ඉන්දීයාව පරාජය කිරීම වඩාත් අවධානය දිනා ගත්තේය. 2010 සාග් ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාව දිනා ගත්තේ රන් පදක්කම් 16 ක් පමණක් වූවත් ශ්‍රී ලංකාව මෙවර ක්‍රීඩා උලෙළේදී දින තුනකදී ලබාගත් සුවිශේෂි ප්‍රගතිය දෙස බලන කල මෙම රන් පදක්කම් ප්‍රමාණය අබිබවා යමින් මෙවර දස්කම් දක්වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
හසිත ලක්මාල් (මැද) වුෂු රන් පදක්කම අතැතිව
මේ අතර ගුවාතිහි ඉන්දිරා ගාන්ධි මලල ක්‍රීඩා පිටියේදී අද (09දා) ආරම්භ වන 12 වැනි සාග් ක්‍රීඩා උලෙළේ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100x4 (පිරිමි) ශ්‍රී ලංකා කණ්ඩායම රියෝ ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබාගැනීම පිළිබඳව දැඩි විශ්වාසයක් තබා ඇතැයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති සුගත් තිලකරත්න මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඉලක්කය වන්නේ අවම සාග් රන් පදක්කම් 12 ක් දිනාගැනීම බවද හෙතෙම පැවසීය.
සාග් මලල ක්‍රීඩා තරගාවලියේ ජූරි සභාවට නම් කර තිබෙන ඒ මහතා, ගුවාතිහිදී පැවසුවේ, මීටර 100x4 (පිරිමි) ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වනවිට තත්පර 39.03 ක දක්ෂතාවක් පෙන්වා තිබෙන බවයි. එය තත්ත්පර 38.9 ත් දක්වා අවම වර්ධනය කරගත හැකි වුවහොත් ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමට රියෝ ඔලිම්පික් සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව පවතින බව තිලකරත්න මහතා පෙන්වා දුන්නේය.
ජිවන් ජයසිංහ (පාපැදි)
මෙවර සාග් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100x4 (පිරිමි) ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට වැඩි අවස්ථාවක් හිමිකරගෙන තිබෙන්නේ හිමාෂ ඒෂාන්, විනෝද් සුරංජය, මොහොමඩ් අෂ්රොෆ් හා ෂෙහාන් අඹේපිටියයි. උමංග සුරෙන්ද්‍ර ද අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ඊට ඇතුළත්ව සිටියි.ෂෙහාන් අඹේපිටිය 2010 ඩකා සාග් මලල ක්‍රීඩා තරගාවලියේදී වේගවත්ම ධාවකයා බවට පත්වෙමින් මීටර් 100 පිරිමි රන් පදක්කම දිනා ගත් ක්‍රීඩකයායි.
මීටර 100, මීටර් 200 (කාන්තා හා පිරිමි) හෙල්ල විසි කිරීම (කාන්තා හා පිරිමි) මීටර 800 (කාන්තා හා පිරිමි) උස පැනීම (කාන්තා හා පිරිමි) දුර පැනීම (කාන්තා) මැරතන් (කාන්තා හා පිරිමි) යන ඉසව් වෙතින්ද ලංකාව මෙවර රන් පදක්කම් දිනා ගැනීම කෙරෙහි වඩාත් විශ්වාසය තබා තිබේ.ඒ අතරට රිදී පදක්කම් අටක් හා ලෝකඩ පදක්කම් 15 ක් පමණ අවම දිනාගැනීමේ අපේක්ෂාවද මෙවර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම සතුව පවතී. ගියවර (2010 ඩකා) තරගාවලියේදී ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා රන් පදක්කම් අටක් දිනා ගෙන තිබේ.
සුදාරිකා ප්‍රයදර්ශනී
වසර 1991 දී දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ ඇරඹීමෙන් පසුව මේ දක්වා ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවෙන් වැඩිම රන් පදක්කම් ගණනක් දිනා ගැනීමට සමත්ව සිටියි. මෙවරත් ඒ සඳහා සූදානමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 71 දෙනෙකු නිලධාරීන් 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමත් ගුවාතිහි කරා පැමිණ සිටිති.
රියෝ ඔලිම්පික් සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙන අවසන් අවස්ථාවද මෙය වෙයි. ඔලිම්පික් උලෙළ සඳහා මෙතෙක් ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් සනාථ කර ඇත්තේ ශ්‍රී ලංකාවෙන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු පමණි. ඒ මැරතන් ක්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ, මැරතන් ක්‍රීඩිකා ගීතානි රාජසේකර හා හෙල්ල විසි කිරීම ශූර සුමේධ රණසිංහ පමණි.
ගුවාතිහි ඉන්දිරා ගාන්ධි මලල ක්‍රීඩා පිටියේදී ආරම්භ වන මලල ක්‍රීඩා තරගාවලියේදී අද දිනයේදී අවසන් තරග 10 ක් පැවැත්වීමට නියමිතය. ඒ අතර මෙවර ක්‍රීඩා උලෙළේදී සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමේද නායකත්වය දරන උස පැනීමේ ශූර මංජුල කුමාර වෙයි. ඔහු මීට පෙරත් සාග් රන් පදක්කම් දිනාගත් ක්‍රීඩකයෙකි. අද දිනයේ වැඩි ඉඩකඩ වෙන් කර ඇත්තේ පිටියේ ඉසව් හා මැදි දුර ධාවන ඉසව් සඳහා වුවත්, දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා හා වේගවත්ම කාන්තාව තෝරාගන්නා මීටර් 100 කාන්තා හා පිරිමි ඉසව් දෙකද අවසන් කිරීමට නියමිතය.
නාමල් පතිරගේ ඉන්දියාවේ ගුවාතිි නගරයේ සිට/ ඡායාරූප කසුන් කැලුම්