ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධානම වේගපන්දු යවන්නා මෙන්ම විස්සයි20 කණ්ඩායමේ නායක වන ලසිත් මාලිංග මේ දිනවල ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය සඳහා සහභාගීත්වය තීරණය කිරීම හෙට (30දා) සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මෙරටදී පැවැති එක්දින තරගාවලියේදී දණහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් මාලිංග, නවසීලන්ත සංචාරය සඳහා නම්කළ සංචිතයේ පළමු තරග දෙක සඳහා නම් නොකළ අතර, ඒ වෙනුවට තිසර පෙරේරා නම්කරනු ලැබීය.
මාලිංගගේ සහභාගිත්වය සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති කපිල විජේගුණවර්ධන මහතා පවසා සිටියේ, ඊයේ (28දා) සිට එළඹෙන 30 වැනිදා දක්වා තෙදිනක් මාලිංග යෝග්‍යතා පරීක්ෂණයක් සඳහා යොමු කරන බවත්, ඉන් අනතුරුව ඔහුගේ සහභාගිත්වය තීරණය කරන බවත්ය.
මෙහිදී අදහස් දැක්වූ තේරීම් කමිටු සභාපතිවරයා,"මාලිංගගේ සහභාගිත්වය තීරණය වෙන්නෙ 30 වැනිදායි පසුවයි. ඔහු තෙදිනක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට ලක් කරනවා. එම තෙදින තුළ තීරණය කරන්න පුළුවන් මාලිංගගේ ආබාධය සුව වෙලාද, නැද්ද කියලා" යැයි පවසා සිටියේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටි භෞත චිකිත්සක දෙපාර්තමේන්තුවේදී මාලිංග යෝග්‍යතා පරීක්ෂණය සඳහා ඊයේ (28දා) සහභාගි විය.