කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල්ගේ ප්‍රවේගකාරී පිතිකරණය හේතුවෙන් එංගලන්ත කණ්ඩායම පරදා තමන් සහභාගීවූ පළමු තරගයෙන් පහසු ජයක් ලැබීමට කොදෙව් කණ්ඩායම අද (16දා) සමත්විය.
එංගලන්ත කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 183 ක ඉලක්කය කඩුලු 4ක පමණක් දැවී පසුකර යාමට කොදෙව්වෝ සමත්වූහ. සුපිරි පිතිහරඹයක නිරත වූ ක්‍රිස් ගේල් විස්සයි20 පිටියේ රැස්කළ තෙවැනි වේගවත්ම ශතකය රැස්කළේ පන්දු 47කිනි.
කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායමේ ඇරයුමෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායමේ ආරම්භ පිතිකරු යුගලය වන ජේසන් රෝයිගේ හා ඇලෙක්ස් හේල්ස්ගේ සබඳතාව ලකුණු 37ට සීමා වූයේ රසල්ගේ පන්දුවක් හමුවේ රෝයි දැවීයාමත් සමගිනි. කෙසේ වෙතත් ඉන්පසුව දෙවැනි කඩුල්ල සඳහා වේගවත් ලකුණු 52ක සබඳතාවක් ගොඩනැංවීමට හේල්ස් හා ජෝ රූට් සමත්වූහ. පස්වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි නායක ඔයින් මෝගන් පන්දු 14 කින් වේගවත් ලකුණු 27ක් රැස්කරමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළේය.
ලකුණු 183ක දැවැන්ත ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි කොදෙව් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ජොන්සන් චාල්ස් ලකුණු නොලබා පිටියෙන් ඉවත් කිරීමට ඩේවිඩ් විලේ පළමු පන්දුවාරයේදීම සමත්විය. කෙසේ වෙතත් ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් මාලන් සැමුවෙල්ස්, දිනේෂ් රාම්දීන් හා ඇන්ඩ්‍රේ රසල් හා එක්ව කෙටි හා වේගවත් සබඳතා ගොඩනගනමින් කොදෙව් ඉනිම ශක්තිමත් කළේය.
තරගයේදී ගේල් එල්ල කළ හයේ පහර 11ත් සමගින් ඔහු නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම් අබිබවා විස්සයි20 පිටියේ වැඩිම හයේ පහර ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රීඩකයා බවටද පත්විය. ගේල් තරග 46කදී හයේ පහර 98ක් එල්ල කර තිබේ. මැකලම් තරග 71කදී හයේ පහර 91 ක් වාර්තා කර තිබේ.
මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ උපදේශකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන කටයුතු කළේය. තරගයේ වීරයා ලෙස ක්‍රිස් ගේල් සම්මාන ලැබීය.
එංගලන්ත කණ්ඩායම 182/6 (පන්දුවාර 20)
ජෝ රූට් 48 (පන්දු 36, 4x3, 6x2), ජෝස් බට්ලර් 30 (පන්දු 20,6x3), ඔයින් මෝගන් 27* (පන්දු 14, 4x1, 6x2), ඇලෙක්ස් හේල්ස් 28 (පන්දු 26, 4x4), ඇන්ඩ්‍රේ රසල් 36/2 (පන්දුවාර 4), ඩ්වේන් බ්රාවෝ 41/2 (පන්දුවාර 4)
කොදෙව් කණ්ඩායම
ක්‍රිස් ගේල් 101* (පන්දු 48, 4x5, 6x11), මාලන් සැමුවෙල්ස් 37 (පන්දු 27, 4x8), ඩේවිඩ් විලේ 33/4 (පන්දුවාර 3)අඩිල් රශීඩ් 20/1 (පන්දුවාර 2)