ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ හයවැනි සතියේ තරග පසුගිය 21, 22 දෙදින තුළ පැවැති අතර, එම තරගවලින් ජය ලැබීමට නාවික හමුදා,මහනුවර හා ගුවන් හමුදා ක්රීඩා සමාජ සමත්විය.
නාවික හමුදා 44 - 20 සී.ආර් ඇන්ඩ් එෆ්.සී.
සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම පරාජය කර කොළඹ ලොන්ඩන් පෙදෙසෙහි පැවැති තරගයකින් ලකුණු 44 – 20 ක පහසු ජයක් ලැබීමට නාවික හමුදා කණ්ඩායම සමත්විය.
තරගය ආරම්භයේදී සී.ආර්. ක්රීඩකයන් තරමක උදාසීන ක්රීඩා විලාසයකින් තරග වැදුණු අතර, ඒ අවසරයෙන් පළමු අර්ධය අවසන් වනවිට නාවික හමුදාව ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුම් 2 ක් හා දඬුවම් පහරක් මගින් ලකුණු 27 ක් රැස්කිරීමට සමත්විය. එම අර්ධයේදී සී.ආර්. ක්රීඩකයන්ට ලබාගැනීමට හැකිවූයේ උත්සාහක දිනුමක් හා දඬුවම් පහරක් පමණක් සාර්ථක කරගනිමින් ලකුණු 08 ක් පමණි.
දෙවැනි අර්ධය ආරම්භයේදී සී.ආර්. ක්රීඩකයන් තරගයට අවතීර්ණ වීමට උත්සාහ දැරූවද ඔවුන්ගේ දුර්වල පන්දු හුවමාරුව හමුවේ ඒ සියල්ල මගහැරී ගියේය.
එම අර්ධයේදීද ගෝල දිනුමක් හා උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු 17 ක් රැස්කිරීමට නාවිකයන් සමත්වූ අතර, සී.ආර්. ක්රීඩකයන් එවර රැස්කරනු ලැබුවේ ගෝල දිනුමක් හා උත්සාහක දිනුමක් ආධාරයෙන් ලකුණු 12 ක් පමණි.
නාවික හමුදාව වෙනුවෙන් ෂාරෝ ප්රනාන්දු, චානක චන්දිමාල්, නවාරි එරම්සි, නයිකාසාවු ලියෝ හා ශ්රීනාත් සූරියබණ්ඩාර උත්සාහක දිනුම් වාර්තා කළ අතර, එයින් ප්රවර්තන 2 ක් හා දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට නුවන් හෙට්ටිආරච්චි සමත්විය. තිළිණ වීරසිංහ එක් ප්රවර්තනයක් සාර්ථක කරගත්තේය.
සී.අර්. කණ්ඩායම වෙනුවෙන් සසංක ආරියරත්න හා ෂමීර් ෆාජුඩීන් උත්සාහක දිනුම් වාර්තා කළ අතර, ඉන් එක් ප්රවර්තනයක් හා දඬුවම් පහර 2 ක් සාර්ථක කරගැනීමට කංචන රාමනායක සමත්විය.
ගුවන් හමුදා 44 - 20 පොලිස්
තරගාවලියේ පළමු අර්ධයේදී ලැබූ පරාජයට පිළිතුරු සැපයූ ගුවන් හමුදා කණ්ඩායම පසුගිය සිකුරාදා (20දා) රත්මලාන ගුවන් හමුදා ක්රීඩාංගණයේදී පැවති තරගයකින් පොලිස් කණ්ඩායම පරදා ලකුණු 44 – 20 ක ජයක් ලැබීමට ගුවන් හමුදා කණ්ඩායම සමත්විය.
මෙම තරගය ආරම්භයේදී ගුවන් හමුදාව දැඩි පීඩනයක් එල්ල කිරීමට පොලිස් කණ්ඩායම සමත් වූයේ ගෝල දිනුමක් හා උත්සාහක දිනුමක් වාර්තා කරමිනි. නමුත් ඉන් අනතුරුව තරගයේ ලකුණු පුවරුව කණපිට හැරවීමට ආරම්භ කළ ගුවන් හමුදා කණ්ඩායම, පොලිස් කණ්ඩායම ලකුණු 12 කට සීමා කරමින් පළමු අර්ධය අවසන් වනවිට ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුමක් හා දඬුවම් පහරක් ආධාරයෙන් ලකුණු 22 ක් රැස්කිරීමට සමත්විය.
දෙවැනි අර්ධය තුළදීද සිය ක්රීඩා රටාව ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙනගිය ගුවන් හමුදා ක්රීඩකයෝ ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුමක් හා දඬුවම් පහරක් ආධාරයෙන් ලකුණු 22 ක් රැස්කළහ. පොලිස් කණ්ඩායම එම අර්ධය තුළදී රැස්කළේ, උත්සාහක දිනුම් 2 ක් මගින් ලබාගත් ලකුණු 10 ක් පමණි.
මහනුවර 38- 10 යුද හමුදා
මහනුවර නිත්තවෙල ක්රීඩාංගණයේදී පැවැති තරගයකින් යුද හමුදා කණ්ඩායම පරාජය කර ලකුණු 38-10 ක පහසු ජයක් ලැබීමට ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින මහනුවර ක්රීඩා සමාජය සමත් විය.
තරගයේ පළමු අර්ධයේදී ප්රබල මහනුවර ක්රීඩකයන්ට යම් අභියෝගයක් එල්ල කිරීමට යුද හමුදාව සමත් වුවද මහනුවර කණ්ඩායම එම අර්ධය තුළදී ඉදිරියට පැමිණීමට සමත් වූයේ ලකුණු 18-10 ක් ලෙසිනි. කෙසේ නමුත් තරගයේ දෙවැනි අර්ධය තුළදී සිය සුපුරුදු ප්රවේගකාරී ක්රීඩා රටාවට අවතීර්ණ වූ මහනුවර ක්රීඩකයන් එම අර්ධය තුළදී තවත් ලකුණු 20 ක් සිය ලකුණු පුවරුවට එක් කරගැනීමට සමත් වූයේ ප්රතිවාදී යුද හමුදා ක්රීඩකයන්ට කිසිදු ලකුණක් හෝ රැස් කිරීමට ඉඩක් නොතබමිනි.
ජයග්රාහී මහනුවර කණ්ඩායම ගෝල දිනුම් 3 ක්, උත්සාහක දිනුම් 2 ක් හා දඬුවම් පහර 2 ක් ආධාරයෙන් සිය ලකුණු 38 රැස් කළ අතර, ගෝල දිනුමක් හා දඬුවම් පහරක් ආධාරයෙන් යුද හමුදාව සිය ලකුණු 10 රැස් කළේය.
ඡායාරූප දර්ශාන් ජූලියන්