ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී සිය ඉනිම අවසන් වුවද ප්‍රේක්ෂකයෙකු ලෙස පැමිණ ඉදිරියටත් ක්‍රිකට් ක්‍රීඩාව නරඹන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පැවසීය. ඉන්දීය - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයෙන් පසු මාධ්‍යයට හා ප්‍රේක්ෂකයන්ට අදහස් දක්වමින් ඔහු අද (24දා) මේ බව සඳහන් කළේය. එසේම ඉදිරියේදී නවක ක්‍රිකට් ක්‍රීඩකයන් අගය කිරීමට කටයුතු කරන බවත්, ජීවිතයේ හොඳම සබඳතාව ගොඩනැගුණේ සිය බිරිඳ වන යෙහාලි සංගක්කාර මත බවත් සංගා කියා සිටියේය. එහිදී සංගා කළ සම්පූර්ණ කතාව මෙසේය.
පදනම ත්‍රිත්ව පිටියෙන්
වෙලාව අරගෙන මෙහේ ඇවිත් දින එකක්, දෙකක්, පහක් ක්‍රිකට් බැලුව හැමෝටම ස්තුතියි. ත්‍රිත්ව ක්‍රීඩා පිටිය මට ලොකු පිටුවහලක් වුණා. මගේ පදනම දමාගත්තේ ත්‍රිත්ව පිටියෙන්. මගේ හැම පුහුණුකරුවෙක්ම, විශේෂයෙන්ම සුනිල් ප්‍රනාන්දුට මම ස්තුතිවන්ත වෙනවා. මම තවමත් නුවරට ගියාම මට වෙලාව තිබුණොත් ඔහුත් එක්ක සිමෙන්ති විකට්ටුවක ක්‍රිකට් ගසමින් මගේ හැකියාවන් වර්ධනය කරගන්න උපදෙස් ගන්නවා. අතීත නායකයන්ට, මගේ කණ්ඩායම් සගයන්ට මට කරපු උදව්වලට ස්තුතිය ප්‍රකාශ කරනවා. ක්රිඩාගාරයේදී කතාකිරීම, හිනාවීම්, විකාර කතා කිරීම, ක්‍රිකට් ගැන කතා කිරීම දැන් නැතිවෙන්නයි යන්නෙ. මගේ කළමනාකරුවන්ට, මාව කළමනාකරණය කිරීම ගැන ස්තුතිය ප්‍රකාශ කරනවා.
මගේ දෙමාපියන් තරග බලන්න එන්නේ කලාතුරකින්
පහුගිය කාලයේම මගෙන් අහපු දෙයක් තමයි මාව උනන්දු කළේ කවුද කියන එක. මගේ දෙමවුපියන් මගෙත් එක්ක හිටියා. ඔවුන් මට හැම දෙයක්ම දුන්නා. අම්මටයි, අප්පච්චිටයි ස්තුතියි. මගේ සහෝදර සහෝදරියන්ට ස්තුතියි. මම මේ අවස්ථාවේ ටිකක් හැඟිම්බරයි. මගේ දෙමාපියන් මම ක්‍රීඩා කරනවා බලන්න එන්නේ කලාතුරකින්. අද ඔවුන් ඇවිල්ලා ඉන්නවා. මට මේ ක්‍රීඩාව ක්‍රීඩා කරලා අවුරුදු 15 ක ඉතාමත් ලස්සන අතීතයක් තියෙනවා. හැමදෙනෙක්ම අහනවා මගේ ජයග්‍රහණ ගැන. බලන්න මේ ක්රීඩාගාර දිහා. මගේ සෑම යහළුවෙක්ම, ප්‍රේක්ෂකයෙක්ම ඉන්නවා. මිනිස්සු මගෙත් එක්ක අවුරුදු 30 ක් හිටියා. මම දැන් ගෙදරට වෙලා මගේ පවුලත් එක්ක ඉඳගෙන ක්‍රිකට් බලනවා.
විශේෂිත ගෞරවය ශ්‍රී ලාංකිකයන්ට
මගේ ජීවිතයේ විශේෂිත වූ ගෞරවයක් ශ්‍රී ලාංකිකයන්ට හා ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට තියෙනවා. මගේ සෑම වාර්තාවක් පසුපසම හිටියේ මේ අය. ඔබ සියලු දෙනාගේම ආදරයට, සහයෝගයට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මගේ ඉනිම දැන් අවසානයි. මම ආයෙත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්නේ නෑ. නමුත් ඔයගොල්ලන් එක්ක ඉඳගෙන ඛෙත්තාරාමයේ, ගාල්ලේ, ටැමිල් යුනියන් එකේ හෝ එස්.එස්.සී. එකේ ලංකාවේ ක්‍රීඩකයන් සෙල්ලම් කරනවා බලන්න මාත් එනවා.
හොඳ අනාගතයක් තියෙනවා
විරාත්ට හා ඉන්දීය කණ්ඩායමටත් ස්තුතියි. ඇන්ජි ඔයාට හොඳ කණ්ඩායමක් තියෙනවා, හොඳ අනාගතයක් තියෙනවා. මහන්සියෙන් වැඩ කරන්න. මේ කෙටි කාලයේදී ක්‍රීඩාවෙන් වින්දනයක් ලබන්න. නමුත් ජයග්‍රහණයක් කරා යනවා නම් පරදින්න බයවෙන්න එපා. ශ්‍රී ලංකා කොඩිය හැමතැනම ලෙළවන්න. අවාසනාවට අපිට දිනන්න බැරිවුණා. ඉන්දියාව හොඳින් ක්‍රීඩා කළා. පැරදුණු පැත්තෙ හිටියත් මම විනෝද වුණා. තරුණ ප්‍රජාව ඉතාමත් හොඳින් ක්‍රිකට් ක්‍රීඩාව සැලකිල්ලට ගන්නවා. මම ක්‍රීඩාගාරයේ ඉඳිද්දී පරාජය වුණාම ඔවුන්ගේ හැඟීම් දැනෙනවා. සැකයකින් තොරව කියන්න පුළුවන් ඔවුන් ටික කාලයක් ගනීවි, නමුත් ඔවුන් හොඳට ඉදිරියට එයි. ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළින් තබාවි.
මගේ දායකත්වය හොඳ මට්ටමක තිබුණේ නෑ
මේක ඇත්තමට අවසානයයි. ජාත්‍යන්තර ක්‍රීඩා කරන්න අවස්ථාවක් නෑ. මේක මගේ අවසන් ටෙස්ට් තරගය නිසා ගොඩක් මතක තියේවි. ක්‍රීඩකයෙක් විදියට නෙමෙයි මනුස්සයෙක් ලෙස නම්‍යතාව තියෙන්න ඕන. වෙනස් වෙන්න පුළුවන් වෙන්න ඕන. හැම කෙනෙක්ම උසස් ලෙස සමුගන්න බලාගෙන ඉන්නවා. නමුත් අවාසනාවකට මට ශතකයක් හෝ අර්ධ ශතකයක් වාර්තා කිරීමට නොහැකි වුණා. ඒක මට කරන්න බැරිවුණා. නමුත් මම පිතිකරණයට ගියාම හිතන්නෙ ලකුණු රැස්කරන්න. කණ්ඩායම ඉදිරියට ගෙනයන්නයි මම උත්සාහ කරන්නෙ. අවාසනාවකට මේ තරගයේදී මගේ දායකත්වය හොඳ මට්ටමක තිබුණේ නෑ.
බ්‍රැඩ්මන් හා සැසඳීම ගැන සතුටුයි
මම බ්‍රැඩ්මන් ක්‍රීඩා කරන විදිය දැකලා තියෙනවා. ඔහු අති විශිෂ්ටයි. ඒ ඒ කාලවලදී ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් බිහිවෙනවා. නමුත් ඔහුත් එක්ක මාව සංසන්දය කිරීම ගැන සතුටුවෙනවා.
හොඳම සබඳතාව යෙහාලිත් එක්කයි
මම ඉවත්ව යනවිට ඉන්දීය කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙක්ම ඇවිත් මට අතට අත දුන්නා. ක්‍රීඩාගාරයට ගිහින් පෑඩ් ඉවත් කරද්දි මට හිතුණෙ මේක මම ජාත්‍යන්තරයේදී කරන්නෙ අන්තිම අවස්ථාවට කියලා. මට ක්‍රිකට් ක්‍රීඩාවේ මතක සටහන් ගොඩක් තියෙනවා. නමුත් මේ දවසත් මට වැදගත්. මොකද පළමු වතාවට තමයි මගේ බිරිඳ, දරුවන්, මගේ දෙමාපියන් හැම කෙනෙක්ම එකට ඉඳලා ක්‍රිකට් බැලුවෙ. මගේ දෙමාපියන් මාව බලන්න ආවෙ නැතුවාට මගේ පසුපසින් සිටියා. මගේ දිවියේ හැම දෙයකම හොඳම සබඳතාව තියෙන්නේ යෙහාලිත් එක්කයි. මාව හැමදේකටම යොමු කරමින් ඇය ලොකු සේවයක් කළා. ඒ වගේම ඇය මට හොඳ ළමයි දෙන්නෙක් දුන්නා.
අභියෝග කළ පන්දු යවන්නන්
මට ගොඩක් අභියෝග කළ පන්දු යවන්නන් තමයි සහීර් ඛාන්, මේ තරගාවලියේදී අශ්වින්. ග්රැහැම් ස්වෝන් වගේ පන්දු යවන්නන් හමුවේ මම අසාර්ථක වෙලා තියෙනවා. නමුත් මම හැමවෙලාවෙම බලන්නේ උපාය මාර්ගයකින් ගොඩ එන්න. වසීම් අක්රම් හොඳ පන්දු යවන්නෙක්. ඔහු එනකොට මම පොඩි කාලෙ ක්‍රීඩා කරමින් හිටියේ. මම දැකලා තියෙනවා ඔහු පන්දු යවන විලාසය. ඔහු එක පාරක් මාව දවාගෙන තියෙනවා. එවැනි පන්දු යවන්නන්ට එරෙහිව ක්‍රීඩා කිරීම අභියෝගයක්.
කනගාටුයි, දුකයි, සතුටුයි
කනගාටුයි, දුකයි, සතුටකුත් තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ හැමදාම යෙදීම ලේසි දෙයක් නෙමෙයි. පීඩනයක් තියෙනවා. දාඩිය මහන්සිය, වෙහෙසක්, කැපවීමක් තියෙනවා. ඒ සියලු දේම එක්ක ලේසි දෙයක් නෙමෙයි. ඒ අතින් බලද්දි යම්කිසි සැහැල්ලුවක් දැනෙනවා. මොකද අදින් පස්සෙ ඒ පීඩනය බලාපොරොත්තු සියලු දේම මගෙන් මගහැරිලා තියෙනවා. මම හිතන්නෙ ක්‍රීඩකයන් ක්‍රීඩා කරනවා බලන් ඉන්න එකත් ලේසි නෑ. මොකද ඒ අසාව තවම තියෙනවා. ඒ දේට පුරුදු වෙන්න ඕන.
ක්‍රිකට් මත්තෙම නැහෙන්නේ නෑ
ක්‍රිකට් ක්‍රීඩාවෙන් ගියාට පස්සෙ ක්‍රිකට් මත්තෙම නැහෙන්නෙ නැතිව ක්‍රිකට් සන්තෝසයෙන් බලන්න, ක්‍රීඩකයන් අගය කරන්න, දැන් ක්‍රීඩා කරන නවක ක්‍රීඩකයක් අගය කරන්න තමයි මගේ බලාපොරොත්තුව. ක්‍රිකට් ක්‍රීඩාවේ විශේෂය තමයි මොකක් වෙයිද කියලා කියන්න බෑ. ප්රයත්නයක් දරලා බලනවා, හරිගියේ නැත්නම් අලුත් දෙයක් කරලා බලනවා. හරි ගියොත් ජයග්‍රහණයක්, සන්තෝසයක් තියෙනවා. ඒ දේ ගැන (ද්විත්ව ශතක හා ටෙස්ට් සාමාන්‍ය 58 ට අඩුවීම ගැන) මගේ වැඩි පසුතැවිල්ලක් නෑ.
දිවියේ පදනම
මගේ පියා පමණක් නෙමෙයි මගේ දෙමාපියන් මගේ දිවියටත්, ක්‍රිකට් ක්‍රීඩාවටත් විශාල සහායක් දක්වා තියෙනවා. කුඩා කල නිවසේදී ඔවුන් දැමූ අඩිතාලම මතයි මම මෙච්චර දුරක් ආවේ. ගිය අවුරුදු 15 තිස්සෙම ඔවුන් විශේෂයෙන් මගේ පසුපසින් හිටියා. මේ සියලු දෙනාගෙම කැපවීමේ අධාරයෙන්, සහායෙන් තමයි මේ තත්ත්වයට ආවේ.
මම උයන්න ආසයි
මම හරි ආසයි බත්, මාලු උයන්න. මට ඒ දේ තාම හරියට කරන්න බෑ. යෙහාලි වැඩිය ආස නෑ මම කුස්සියට ඇවිත් උයන එක ගැන. මොකද හැඩි කරනවා වැඩියි කියලා. එයාට අස්කරන්න තියෙන ප්‍රමාණය වැඩියි කියනවා. නමුත් මම පුළුවන් පුළුවන් විදියට උයන්න කරන්න ආසයි. තව පොඩ්ඩක් ඉගෙනගන්න තියෙනවා.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඉල්ලීම
තාම දේශපාලනයට එන්න යෝජනාවක් ලැබුණේ නෑ. අතිගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා ඒ යෝජනාව ගැන. ඒක ගැන තව හිතන්න ඕන. අත්දැකීමෙන් හරිම අඩුයි. ඒ දේ ගැන හරියට කතා කරලා බලන්න ඕන, මොකක්ද මේ යෝජනාවට කරන්නේ කියලා.
ඉදිරිය
මගේ ඉදිරි කාලෙ ගැන කතාකළොත් මගේ භාර්යාව, දරුවො දෙන්නත් එක්ක කතා කරලා බලලා තමයි ඒ ගැන හිතන්නේ. මම ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වුණත්, නැති වුණත් ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට යනවා. ක්‍රිකට් නැතිවෙන්නේ නෑ. මට ඊට වඩා වගකීමක් තියෙනවා මගේ දරුවනුත්, භාර්යාවත් ගැන. ඒ ගැන හිතලා තමයි අනිත් දේවල් ගැන හිතන්නේ.
මත්ද්‍රව්‍ය නිවාරණය
මත්ද්‍රව්‍ය නිවාරණයට සම්බන්ධ වීමට ලැබීම විශේෂිත වූ කාර්යයක්. රටක තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍යයෙන් නිදහස් කරගැනීමට ක්‍රියාවලියක් නිකුත් කිරීම හොඳ දෙයක්. සියලු දෙනාම කැපවෙලා වැඩ කරලා තියෙනවා. ඒකට සම්බන්ධ වීමට ලැබීම ලොකු භාග්‍යයක්. විශේෂයෙන්ම මගේ දරුවන් දිහා බැලුවාම ඇබ්බැහි වීමේ ප්‍රවණතාව බැලුවත්, අඩු වයස් සීමාවෙන් තමයි වෙන්නේ. ඔවුන්ගේ ජීවිතය සම්පූර්ණ කරගැනීමට සහාය දෙන්න ලැබීම සතුටක්.
ඡායාරූපය - ශාන්ත රත්නායක