ශ්රී ලංකා ජාතික පිරිමි බොක්සිං සංචිතයේ නව ප්රධාන පුහුණුකරු ලෙස ඇමෙරිකානු ජාතික ජෝ එඩ් ක්ලෝ පත්කර තිබේ.
අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ (AIBA) දෙවැනි මට්ටමේ (Level 2)පුහුණුකරුවෙකු වන ජෝ මහතා ඇමෙරිකාව, තායිලන්තය, පිලිපීනය, මැලේසියාව, ඉන්දියාව වැනි රටවල් කිහිපයක ප්රධාන පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර ඇති, බොක්සිං ක්රීඩාව සම්බන්ධ විශාල අත්දැකීම් සහිත තැනැත්තෙක් වේ. එමෙන්ම ඔහු 1974 වර්ෂයේදී ඇමෙරිකාවේ හොඳම බොක්සිං පුහුණුකරු සම්මානයටද පාත්රවී ඇත.
ජෝ මහතා ශ්රී ලංකා බොක්සිං සංචිතයට එක්වූ පළමු කියුබානු නොවන ජාතික පුහුණුකරු වන අතර, ඔහුගේ අත්දැකීම් හා තාක්ෂණ ක්රම උපයෝගී කරගනිමින් ශ්රී ලාංකේය බොක්සිං ක්රීඩාව නව මානයකට රැගෙන යාමට හැකිවනු ඇතැයි ක්රීඩා විචාරකයෝ පෙන්වා දෙති.
නව පුහුණුකරු අද (06දා) සිය තනතුරෙහි වැඩ භාරගැනීමට නියමිත අතර, එළඹෙන ජූලි මස බැංකොක්හීදී පැවැත්වෙන ආසියානු කුසලාන (පිරිමි) බොක්සිං තරගාවලිය ඔහුගේ පළමු අභියෝගය වනු ඇත.
ක්ලෝ මහතාට පෙර කියුබානු ජාතික ෆ්රොමෙතා මාතොස් මහතා ශ්රී ලංකාවේ හිටපු පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, ඔහු ඉදිරියට ජාතික කාන්තා සංචිතයේ පුහුණුකාර ධුරයේ කටයුතු කිරීමට නියමිතය. 2001 වර්ෂයේදී මාතොස් ශ්රී ලංකා බොක්සිං සංචිතයේ ප්රධාන පුහුණුකරු ලෙස වැඩ භාරගත් අතර, ඔහු එවකට එම ධුරයට පත්වූයේ ශ්රී ලංකාවේ ප්රථම විදේශීය ජාතික පුහුණුකරු ලෙසි.
අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ දෙවැනි මට්ටමේ පුහුණුකරුවෙකු වන ඔහු දෙවරක් (2001-2006, 2013-2015) ශ්රී ලංකා ජාතික කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ධුරයේ කටයුතු කර ඇත.