පාකිස්තානයෙන් බිහිවූ විශිෂ්ට ගණයේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ෂහිඩ් අෆ්රිඩි අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් තමන්ගේ නිල වශයෙන් සමුගැන්ම පෙරේදා (19දා) නිවේදනය කළේය. මෙලෙස සමුගැන්ම ප්‍රකාශ කරමින් අෆ්රිඩි පවසා සිටියේ, සිය ක්‍රීඩාලෝලීන් වෙනුවෙන් තවත් වසර දෙකක් ක්‍රිකට් පිටියේ (ප්‍රාන්ත) රැඳී සිටීමට අදහස් කළද, අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදීමට දැන් කාලය එළඹ ඇති බවයි.
ලොව වැඩිම කාලයක් අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ රැඳී සිටි ක්‍රීඩකයන් අතර විවාදයකින් තොරව එක් වන ෂහීඩ් අෆ්රිඩි, ක්‍රිකට් පිටියේ මේ වනවිට වසර 21ක දීර්ඝ කාලයක් ගෙවා ඇත.
කෙසේ නමුත් අවසන් කාලයේදී විස්සයි20 තරගවලට පමණක් සිය සේවය ලබාදුන් හෙතෙම, විස්සයි20 තරග 98ක්, එක්දින තරග 398ක් හා ටෙස්ට් තරග 27කට සිය සේවය ලබාදී තිබේ.
1996 වර්ෂයේදී පාකිස්තානය නියෝජනය කරමින් අන්තර්ජාතික එක්දින පිටියට පා තබන විට යම්තම් 16 හැවිරිදි වියේ පසුවූ අෆ්රිඩි, ක්‍රිකට් පිටියේ දැවැන්ත ප්‍රහාරකයෙකු ලෙසින් පෙනී සිටි අතර, ඒ හේතුවෙන්ම් ඔහුව 'බූම් බූම්' යන අන්වර්ථ නාමයෙන් හැඳින්විණි. 1996 වර්ෂයේදී එක්දින ක්‍රිකට් පිටියේ වේගවත්ම ශතකය වාර්තා කළ අෆ්රිඩි, වසර 18ක් එය රැකගැනීමට සමත්වීම විශේෂත්වයකි.
එමෙන්ම දකුණතින් පිට දඟ පන්දු යවන්නෙකු ලෙසින් පිතිකරුවන්ට ඉතා පීඩනයක් එල්ල කළ ක්‍රීඩකයෙකු ලෙසින්ද ඔහු ප්රකටය.
සිය ක්‍රිකට් දිවියේ ස්වර්ණමය යුගය සනිටුහන් කළ අෆ්රිඩි, 2010 වර්ෂයේදී අංශ තුනෙන්ම (ටෙස්ට්, එක්දින, විස්සයි20) නායකත්වයට පත්විය. 2010 වර්ෂයේදී ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදුන්නද, ඔහු 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වාම එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත විය.
පන්දුවාර විස්සයි20 තරගාවලිහි නායකත්වය වසර 06ක් දැරීමට සමත් වූ අෆ්රිඩි, පසුගිය ලෝක කුසලාන තරගාවලිය (2016) දක්වාම එම තනතුරෙහි රැඳී සිටියේය.