ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය තහනම් කිරීමේ කිසිදු දැනුම්දීමක් ජාත්‍යන්තර බැඩ්මින්ටන් සංගමය විසින් තමන් වෙත ලබා දී නොමැති බව ජාතික බැඩ්මින්ටන් සංගමයේ සභාපති සුරාජ් දන්දෙණිය මහතා පවසයි.
ජාත්‍යන්තර බැඩ්මින්ටන් සංගමය විසින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය තහනම් කිරීමේ සූදානමක් පවතින බවට මේ දිනවල පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් 'අද'කළ විමසුමකදී දන්දෙණිය මහතා මෙම අදහස් දක්වා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා,
"ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය තහනම් කිරීමට සූදානම් වන බව කියන වාර්තා පදනම් විරහිතයි. එවැනි කිසිදු දැනුම්දීමක් අද වෙනකම් ජාත්‍යන්තර බැඩ්මින්ටන් සංගමයෙන් අපට ලබාදී නැහැ. නිලවරණය මේ වසරේදී අනිවාර්යයෙන් පවත්වනවා." යැයි පවසා සිටියේය.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය, අන්තර්ජාතික බැඩ්මින්ටන් සංගමයේ තහනමට ලක්වීමේ අවදානමක් මතුව තිබෙන බවට මේ දිනවල මාධ්‍ය වාර්තා පළවන අතර, අන්තර්ජාතික බැඩ්මින්ටන් සංගමය ශ්‍රී ලංකාවට ලබාදුන් උපදෙස්වලට අනුව සංගමය කටයුතු නොකිරීම ඊට හේතු වී ඇති බව එම වාර්තා සඳහන් කරයි.
විශේෂයෙන් පසුගිය වසරේ දෙසැම්බර් මස සිට සංගමයේ නිලවරණය පැවැත්වීමට උත්සාහ කළත්, එය පැවැත්වීමට මෙතෙක් නොහැකිවී ඇත.