කොළඹ රාජකීය - මහනුවර ත්‍රිත්ව 72 වැනි 'බ්‍රැඩ්බි පළිහ' වාර්ෂික රග්බි තරගයේ පළමු අදියර ජය ගනිමින් මෙවර තරගයේ සිය පෙරමුණ තහවුරු කර ගැනීමට කොළඹ රාජකීය විදුහල පෙරේදා (30දා) සමත් විය. ත්‍රිත්ව විදුහල ලකුණු 22-17ක් ලෙස පරාජය කර රාජකීයයෝ පළමු අදියරේ පෙරමුණ ගත්හ.
පළමු අර්ධයේදීම තරගයේ පෙරමුණ ගත් රාජකීය විදුහල් කණ්ඩායම එම අර්ධය අවසන් කළේ ලකුණු 17-07 ක් ලෙසිනි. තරගයට වර්ෂාව පතිත වීමත් සමගින් දෙවැනි අර්ධය තරමක් මඩ සහිත ක්‍රීඩාපිටියක ආරම්භ කිරීමට කණ්ඩායම් දෙකටම සිදු විය.
තරගයේ අවසානය දක්වාම උණුසුම් වන බවක් පෙන්නුම් කරමින් ත්‍රිත්ව විදුහලේ වින්ග් ක්‍රීඩක දිලුක්ෂ දංගේ උත්සාහක දිනුමක් වාර්තා කළ අතර, එහි ප්‍රවර්තනයද ලෂේන් විසින් සාර්ථක කර ගැනීමත් සමගින් ලකුණු පුවරුව 67 වැනි මිනිත්තුව වන විට ලකුණු 17-17 ක් ලෙසින් සම තත්ත්වයේ පැවතිණ.
කෙසේනමුත් සිය මව් ක්‍රීඩාංගණය තුළදී ජයග්‍රහණය බලාපොරොත්තු අත්නොහැරීමට ක්‍රියා කළ රාජකීය විදුහල 76 වැනි මිනිත්තුවේදී සිය ජයග්‍රහණය නැවතත් සොයා ගැනීමට සමත් වූ අතර, අස්මීර් ෆජුඩීන් විසින් වාර්තා කළ දෙවැනි උත්සාහක දිනුම ඊට ඉවහල් විය.
ඒ සමගින් තරගයේ අවසානය දක්වාම ඉදිරිය සනිටුහන් කර ගත් රාජකීයයෝ තරගයේ අවසන් කළේ 72 වැනි බ්‍රැඩ්බි කිරුළ හිමිකර ගැනීමට තමන්ට අවශ්‍ය මූලික සුදුසුකම් සපුරාලමිනි.