යොනෙක්ස් සන්රයිස් ශ්‍රී ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ ඉතිරිව තිබූ එකම පදක්කම් බලාපොරොත්තුවත් අතහැර දැමීමට ශ්‍රී ලංකාවට ඊයේ (04දා) සිදුවිය.
කේවල පිරිමි තරග වටයේ තෙවැනි තරගයට දිනූක කරුණාරත්න ඊයේ (04දා) උදෑසන ක්‍රීඩාකළ අතර, එහිදී ඉන්දීය ක්‍රීඩක ආනන්ද් පවර් හමුවේ තරග වට 2/1 ක් ලෙස පරාජයට පත් වීමට ඔහුට සිදුවිය.
මෙම තරගයේ පළමු වටය 21/11 ලෙස පහසුවෙන් ජයගැනීමට ඉන්දීය ක්‍රීඩකයා සමත්විය. කෙසේ නමුත් දෙවැනි වටයේදී තරගයට අවතීර්ණ වූ දිනූක එම වටය 21/10 ක් ලෙස පහසුවෙන් ජයගත්තේය. එහෙත් සියලු බලාපොරොත්තු බිඳ දමමින් තෙවැනි වටය නැවතත් 21/16 ක් ලෙස ඉන්දීය ක්‍රීඩකයා ජයගත්තේය.
ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව ලොව 44 වැනි ස්ථානයේ පසුවන ආනන්ද් පවර් මෙම තරගාවලියේ ක්‍රීඩක වර්ගීකරණය අනුව තෙවැනි ස්ථානයේ පසුවෙයි.
දිනූක කරුණාරන්ත ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව 110 වැනි ස්ථානයේ පසුවන අතර, ඔහු මෙම තරගාවලියේ ක්‍රීඩක වර්ගීකරණයේ 10 වැනි ස්ථානයේ පසුවිය.
කේවල පිරිමි තරග වටයේ පළමු තරගයට දිනූක පසුගිය අඟහරුවාදා (02දා) මැලේසියාවේ වින්සන් නියෝ සමගින් තරග වැදුණ අතර, එම තරගයෙන් තරග වට 2/0 ක ජයක් ලැබීමට ඔහු සමත්විය. දෙවැනි වටයේදී තායිලන්තයේ කන්ටපොන් වොන්ග්චරොන් සමගින් තරග වැදුණු ඔහු එම තරගය වට 2/1 ක් ලෙස ජයගැනීමට සමත්විය.
පසුගිය වසරේද මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව දිනූ එකම පදක්කමේ හිමිකරුවා වූ කේවල පිරිමි ලෝකඩ පදක්කම දිනූ දිනූක කරුණාරත්න මෙවරද පදක්කම් බලාපොරොත්තු අතර ඉදිරියෙන්ම සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයා විය. ඒ අනුව ඔහු ලැබූ මෙම පරාජයත් සමග සියලු බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය.
මෙම තරගාවලියේ යුගල කාන්තා අර්ධ අවසන් පූර්ව වටයේ තරගයට අචිනි රත්නසිරි හා උපුලි සමන්තිකා සුදුසුකම් ලබා තිබූ අතර, එම තරගය ඊයේ (04දා) සන්ධ්‍යාවේ පැවැත්වීමට නියමිතව තිබුණි.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය දෙවැනි වරට සංවිධානය කළ යොනෙක්ස් සන්රයිස් ශ්‍රී ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලිය පසුගිය අඟහරුවාදා (02දා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර, එම තරගාවලිය එළඹෙන සෙනසුරදා (06දා) දක්වා පැවැත්වේ.