2017 වර්ෂයේ එංගලන්තයේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (22දා) සමත්විය. ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වෙන එක්දින තරගාවලියේ (2 - 0) පෙරමුණ ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වීමත් සමග මෙම අවස්ථාව ඔවුන්ට හිමිවිය.
බංග්ලාදේශය මේ වනවිට ප්‍රසාද ලකුණු 93 ලබා ලෝක කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 07 වැනි ස්ථානයේ පසුවන අතර, මෙම වසරේ සැප්තැම්බර් මස 30 වැනිදාට ප්‍රථම ලෝක කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් සිටින කණ්ඩායම් 08 ට පමණක් ශූරයන්ගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව හිමිවේ.
බංග්ලාදේශ කණ්ඩායම අනිද්දා පැවැත්වෙන ඉන්දියාවට එරෙහි අවසන් එක්දින තරගය හෝ මෙම තරගාවලියෙන් පසුව ආරම්භවන දකුණු අප්‍රිකාවට එරෙහි තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය පරාජය වුවද, ඔවුන්ට (බංග්ලාදේශ) මෙම අවස්ථාව අහිමි නොවේ. එම තරග සියල්ල බංග්ලාදේශය පරාජය වුවත් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව පහළ යන්නේ ලකුණු 90 දක්වා පමණක් වන අතර, එය මේ වනවිට ශ්‍රේණිගත කිරීම්හි 08 වැනි ස්ථානයේ පසුවන කොදෙව් කණ්ඩායමට හිමිව ඇති ප්‍රසාද ලකුණු (88) සංඛ්‍යාවට වැඩිවේ.
ඒ අනුව ශ්‍රේණිගත කිරීම්හි 09 වැනි ස්ථානයේ පසුවන පාකිස්තානු කණ්ඩායමට හා කොදෙව් කණ්ඩායමට වැඩි අවදානමක් තිබෙන අතර, යම් හෙයකින් පාකිස්තාන කණ්ඩායමට ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලිය පරාජය වුවහොත් ශූරයන්ගේ කුසලාන තරග ඉතිහාසයේ පළමු වරට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවේ.
එක්දින කණ්ඩායම් ශ්‍රේණගත කිරීම
1. ඔස්ට්‍රේලියාව (130) 2. ඉන්දියාව (114) 3. නවසීලන්තය (112) 4. දකුණු අප්‍රිකාව (112) 5. ශ්‍රී ලංකාව (106) 6. එංගලන්තය (98) 7. බංග්ලාදේශය (93) 8. බ.ඉ. කොදෙව් (88) 9. පාකිස්තානය (87) 10. අයර්ලන්තය (90)