සංජීව ධර්මසේන /බංග්ලාදේශයේ ශේර් බංග්ලා ක්‍රීඩාංගණයේ සිට
ශ්‍රී ලංකාව මෙන්ම පාකිස්තානයට තවත් තරගයක් ඉතිරිව තිබියදී ආසියානු කුසලාන පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අද (02දා) සමත්විය. ශේර් බංග්ලා ක්‍රීඩාංගණයේ පැවති තරගාවලියේ 08 වැනි තරගයෙන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 05කින් පරාජය කරමින් ඔවුන් මෙම අවස්ථාව උදාකරගත්හ. ඒ අනුව ශ්‍රී ලංකාවට මෙන්ම පාකිස්තානයට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
1984 වසරේ ආරම්භ වූ ආසියානු කුසාලන තරගාවලි ඉතිහාසයේ බංග්ලාදේශය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, අවසන් වරට 2012 වසරේ ඔවුන් සුදුසුකම් ලබා තිබුණි.
තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් ඉන්දියාව හමුවේ පරාජය වූවා හැරෙන්න ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් කණ්ඩායම බංග්ලාදේශය විසින් පරාජය කරනු ලැබීය.
පාකිස්තාන කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු ලකුණු 129 ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශ පිතිකරුවෝ තරගයේ 19.1 වැනි පන්දුවාරයේදී කඩුලු 05ක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත්විය.
පසුගිය තරග කිහිපයේ ලකුණු අතර නොසිටි සෞම්‍ය සර්කාර් අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙමින් ලකුණු 48ක් රැස්කර සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර, එය ඉදිරියට රැගෙන ගිය මහමුල්ලා (22) හා මෂ්රාෆි මොර්ටාසා (12) ඉනිම ජයග්‍රහණ කරා රැගෙන ගියේය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 129 ක් පමණි.
බංග්ලාදේශ පන්දු යවන්නන් ඉදිරියේ අඩපණ වූ පාකිස්තාන ඉනිමට අභිමානයක් එක්කළ සර්ෆාස් අහමඩ් පන්දු 42කදී නොදැවී ලකුණු 58 ක් රැස්කිරීමට සමත්වූ අතර, එම ඉනිමට හයේ පහර 02 ක් හා හතරේ පහර 05 ක් අනතර්ගත විය. ඔහුට අමතරව ෂොයිබ් මලික් ලකුණු 30කින් දායක වූ අතර, සර්ෆාස් සමගින් ඔහු පන්දු 44කදී ලකුණු 70 ක් විශිෂ්ට සබඳතාවක් ගොඩනගා පාකිස්තානු ඉනිම තරගයක් ලබාදිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියේය.
තරගයේ වීරයා ලෙස සෞම්‍ය සර්කාර් සම්මාන දිනාගත්තේය.
මෙම තරගය නැරඹීම සඳහා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශේක් හසීනා පැමිණ සිටියාය.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව