ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සුපිරි තරු බිහිකළ අග්‍රගණ්‍ය පුහුණුකරුවෙකු වූ ලයනල් මෙන්ඩිස් මහතා අද (11දා) සදහටම ශ්‍රී ලංකාවෙන් සමුගත්තේය. ලයනල් මෙන්ඩිස් මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 8 වැනිදා අභාවප්‍රාප්ත වූ අතර, ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (11දා) බොරැල්ල කනත්තේදී පැත්විණි.
1935 වසරේදී උපන් ලයනල් මෙන්ඩිස් මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙනි. පසුව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ක්‍රිකට් දිවිය ආරම්භ කළ ඔහු ගුරුවරයෙකු ලෙස සහ හමුදා නිලධාරීවරයකු ලෙසද කලක් සේවය කළේය. පසුව ලයනල් මෙන්ඩිස් මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේදී ක්‍රිකට් පුහුණුකරු වෘත්තිය ආරම්භ කරන්නේ 1973 වසරේදීයි.
1982 දී එන්.සී.සී. ක්‍රිකට් ඇකඩමිය ආරම්භ කිරීමට පුරෝගාමී වූ ලයනල් මෙන්ඩිස් මහතා තරුණ ක්‍රීඩකයන් රැසක්ම ක්‍රිකට් පිටියට හඳුන්වාදීමට සමත් විය. ලයනල් මෙන්ඩිස් මහතාගේ ගුරුහරුකම් යටතේ ක්‍රිකට් පිටියට පිවිසි සුපිරි තරු අතර අර්ජුන රණතුංග, ධම්මික රණතුංග, බ්‍රෙන්ඩන් කුරුප්පු, චරිත් සේනානායක, නිශාන්ත රණතුංග, සංජීව රණතුංග, දුලිප් සමරවීර, මහේල ජයවර්ධන, කුමාර් ධර්මසේන, සංජීව වීරසිංහ, නිරෝෂන් බණ්ඩාරතිලක, අවිශ්ක ගුණවර්ධන, තිලාන් සමරවීර, නවීඩ් නවාස්, ජෙහාන් මුබාරක්, හේමන්ත බොතේජු වැනි බොහෝ පිරිසක් වෙති.