තම පෙම්වතිය වූ රීවා ස්ටීන්තැම්ප්ව ඝාතනය කිරීමේ වරදට සිරගතව සිටි පැරාලිම්පික් රන් පදක්කම්ලාභී ඔස්කා පිස්ටෝරියස්ව එම දඬුවමෙන් නිදහස් කර නිවාස අඩස්සියට පත්කිරීමට එරට බන්ධනාගාර නිලධාරීන් තීරණය කර තිබේ.
ඒ අනුව එළැඹෙන සිකුරාදා දිනයේදී ඔහුට නිදහස හිමිවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
බ්ලේඩ් රනර් ලෙස ප්‍රසිද්ධ පිස්ටෝරියස් 2014 වසරේ ඔක්තෝබර් මසදී පස් අවුරුදු සිරදඬුවමකට ලක්වන්නේ ආදරවන්තයන්ගේ දිනයේදී සිය පෙම්වතියව තම ආරක්ෂාව පතා සාපරාධී ඝාතනයක් (Culpable Homicide) කිරීමේ චෝදනාව මතය.
2012 ලන්ඩන් ඔලිම්පික් උලෙළේදී ලොව ප්රමුඛ පෙළේ ධාවකයන් හා තරග කිරීමේ විශේෂ අවස්ථාව මෙම ආබාධිත දකුණු අප්‍රිකානු ක්‍රීඩකයාට හිමිවිය. ඉන් කාගේත් අවධානය දිනාගත් පිස්ටෝරියස් එහි සමාප්ති උලෙළේදීම දකුණු අප්‍රිකානු ධජය රැගෙන යාමට තරම් වාසනාවන්ත විය.
කෙසේ වෙතෙත් 2012 වසරේ දෙසැම්බර් මසදී දකුණු අප්‍රිකානු නිරූපිකාවක වූ රීවා හා පෙමින් බැඳුණු පිස්ටොරියස් ඊට මාස 3 ක් ඉක්ම යද්දී තමා අතින්ම ඇය ඝාතනය වීම පිළිබඳව පවසා තිබුණේ එය අත්වැරැද්දක් බවයි.
අනතුරුව දීර්ඝ නඩු විභාගයකින් පිස්ටෝරියස් වරදකරු වූ අතර, දකුණු අප්‍රිකානු අධිකරණය ඔහුට පස් අවුරුදු සිරදඬුවමක් නියම කළේය.
නවතම වාර්තා සඳහන් කරනුයේ මාස 10 ක් සිරබත් කෑ පිස්ටොරියස්ව සිරදඬුවමෙන් නිදහස් කර නිවාස අඩස්සියට පත්කිරීමට තීරණය කර ඇත්තේ දකුණු අප්‍රිකානු බන්ධනාගාර තුළ අධික තදබදයක් පැවතීම හේතුවෙනි.
මෙම සහනය පිස්ටෝරියස්ට ලබාදීම පිළිබඳව මේ වනවිට අප්‍රිකාවේ විවිධ සිවිල් සංවිධාන හා ආයතන මෙන්ම ලොව පුරා විවිධ ක්‍රීඩා විචාරකයන්ගේද දැඩි විවේචනයට ලක්ව තිබේ. ඔවුන් සඳහන් කරන්නේ අපරාධ ක්‍රියාවක් සම්බන්ධයෙන් වරදකරුවකු වූ පිස්ටෝරියස්ට මෙවැනි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් එය වැරදි පූර්වාදර්ශයක් විය හැකි බවයි.
මෙතරම් ඉක්මනට පිස්ටෝරියස් සම්බන්ධයෙන් මෙවැනි සහනයක් ලබාදීම පිළිබඳව කුකුසක් මතුවන බවත්, මත්ද්‍රව්‍ය, අපරාධ, ඝාතනය කිරීම් වැනි ක්‍රියාවන්ට වැරදිකරුවන් වූ අනෙකුත් පුද්ගලයන්ද මෙම ක්‍රියාවෙන් සහනයක් ලබාදෙන ලෙස ඉල්ලීම් කළහොත් මෙම වැරදි පූර්වාදර්ශය හේතුවෙන් නීතිය වෙනත් ඉසව්වක් කරා යොමුවේ යැයි ඔවුහු තර්ක කරති.