ලෝක පාපන්දුවේ නොමැකෙන සටහනක් තබා ඇති එංගලන්ත හිටපු පාපන්දු නායක ඩේවිඩ් බෙකම් හා ඔහුගේ 16 හැවිරිදි වැඩිමහලු පුත් බෘක්ලින් බෙකම් එක්ව ක්‍රීඩා කළ පාපන්දු තරගයක් පසුගිය සති අන්තයේදී පැවැත්විණි.
එංගන්තයේ ඔල්ඩ් ට්‍රැෆෝඩ් ක්‍රීඩාංගණයේදී යුනිසෙෆ් සංවිධානය වෙනුවෙන් තරගය පැවැති අතර බ්‍රිතාන්‍ය කණ්ඩායම හා ලෝක කණ්ඩායම අතර තරගය පැවැත්විණ.තරගය නිමා වීම සඳහා විනාඩි 15ක් ඉතිරිව තිබියදී 40 හැවිරිදි බෙකම් පිටියෙන් ඉවත්ව සිය පුතාට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබාදුන්නේය.
ඉන් අනතුරුව තරගය නිමා වීම සඳහා විනාඩි හතක් ඉතිරිව තිබියදී නැවතත් බෙකම් පිටියට පැමිණි අතර, ඒ වනවිට ඔහුගේ පුත් බෘක්ලින්ද පිටියේ ක්‍රීඩා කරමින් සිටියේය. 75000කට ආසන්න පිරිසක් තරගය නැරඹීම සඳහා ඔල්ඩ් ට්‍රැෆෝඩ් ක්‍රීඩාංගණයට එක්ව සිටියහ.
බෘක්ලින් පාපන්දුවලට වඩා ඡායාරූපකරණයට වැඩි කැමැත්තක් දක්වන බව බෙකම් මීට ඉහතදී සඳහන් කර තිබුණත් තරගයේදී ඔහු කළ සියලු දෑ නිවැරදි බව බෙකම් තරගයෙන් අනතුරුව පැවසීය.