සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (06දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරග පහකින් සමන්විත වූ එක්දින තරගාවලිය 4-1 ක් ලෙසින් ජයගනිමින්, ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ලද පරාජයේ වාඩුව ගන්නට ඔස්ට්‍රේලියානුවන්ට හැකිවිණි. එක්දින තරගාවලිය ආරම්භයේදී අප සඳහන් කර සිටියේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගත්තද, එක්දින තරගාවලිය ජයගැනීම එතරම් පහසු නොවන බවයි. එහෙත් එක්දින තරගාවලිය 3-2ක් ලෙසින් ගෞරවාන්විතව පරාජය වීමට අවස්ථාව පැවැති බව සඳහන් කළ යුතුමය.
තේරීම් කමිටුව, නායක මැතිව්ස් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර තොරතුරුවලට අනුව එහි සමහර ඉහළ නිලධාරීන්ගේ අත්තනෝමතික තීරණ හේතුවෙන් එක්දින තරගාවලිය 4-1 ක් ලෙසින් පරාජය වැළඳ ගන්නට සිදුවිය. කෙසේ නමුත් එක්දින තරගාවලියේ පරාජය ශ්‍රී ලංකා ක්‍රිකට්හි අනාගතයට හොඳය. එක්දින තරගාවලියද ජය ගත්තේ නම්, තම හිතවත් ක්‍රීඩකයන් කණ්ඩායම තුළට අහසින් පාත්වීම නතර නොවන්නේය. එහෙත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වාසනාවට එය එසේ සිදුනොවුණි. නමුත් තම හිතවත් ක්‍රීඩකයන්ට අවස්ථාව පිට අවස්ථාව ලබාදීම සඳහා තේරීම් කමිටුව මෙන්ම නායක මැතිව්ස්ද, ලෝක කුසලාන තරගාවලිය ඉදිරියට දමා තම නිදහසට කරුණ ඉදිරිපත් කරනු නිසැකය. කෙසේ වෙතත් පිතිකරුවන් එකවර සාර්ථක නොවීමද, එක්දින තරගාවලියේ පරාජය හේතුවක් විණි. එබැවින් පන්දුවාර විස්සයි20 තරගාවලියේ ජය පතා පිතිකරුවන්ගේ සාර්ථකත්වය අත්‍යවශ්‍යය.
ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජයගත් පරිදි, එක්දින තරගාවලියද ජය ගන්නට සිතූ තේරීම් කමිටුව මෙන්ම කණ්ඩායම් නායකයාද වර්තමාන එක්දින තරග රටාව තේරුම් නොගැනීම හේතුවෙන් තරගාවලියේ පරාජය වැළඳ ගත්තේය. තවද ඔස්ට්‍රේලියානුවන්ගේ තරග රටාව තේරුම් ගැනීමටද, ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් විණි. එය තේරුම් ගත්තේනම් ආරම්භක පන්දු යවන්නන් ගැන මීට වඩා අවධානයක් යොමු කරන බව නිසැකය. එහෙත් එවැන්නක් සිදු නොවුණි. එබැවින් පන්දුවාර විස්සයි20 තරගාවලියේදී ආරම්භක පන්දු යවන්නන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි අපි විශ්වාස කරන්නෙමු. විශේෂයෙන්ම සුරංග ලක්මාල් සමග තවත් වේගපන්දු යවන්නෙකුගේ අවශ්‍යතාව මේ මොහොතේ වඩාත් ප්රබලව දැනෙමින් තිබේ.
නවක දඟපන්දු යවන්නන් පළමුවරට දුටුවිට අසාර්ථක වූ ඔස්ට්‍රේලියානුවන්, නිරන්තරයෙන් නවක දඟ පන්දු යවන්නන් හමුවේ අසාර්ථක වේ යැයි සිතා කටයුතු කිරීමද ශ්‍රී ලංකා කණ්ඩායම කළ තවත් වැරැද්දකි. නවක දඟපන්දු යවන්නන් සත්‍ය ලෙසම පරීක්ෂාවට ලක්වන්නේ තරග එකක් හෝ දෙකක් ක්‍රීඩා කළ පසුවය. ඔවුන්ට ඉන් ජය ගැනීමට හැකිවුවහොත් හොඳ අනාගතයක් නිර්මාණය කරගත හැකිය.එක්දින තරගාවලිය පුරාවට තේරීම් කමිටුව මෙන්ම නායක මැතිව්ස්ද ආරම්භ පිතිකරණ සංයුතිය අවස්ථා හතරකදී වෙනස් කළේය. සාමාන්‍යයෙන් තරගාවලියකදී එවැන්නක් සිදු නොවන තරම්ය. කෙසේ වෙතත් අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරණ සංයුතියට යම් සාර්ථකත්වයක් අත්කර ගැනීමට අවස්ථාව හිමිවිණි. එහෙයින් පන්දුවාර විස්සයි20 තරග ද්විත්වයේම ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කිරීමට ධනුෂ්ක ගුණතිලකට සහ ධනංජය සිල්වාට අවස්ථාව හිමිවිය යුතු යැයි අපගේ විශ්වාසයයි.
එක්දින තරගාවලියේදී දැකගන්නට ලැබුණු පරිදි විස්සයි20 තරගාවලියේදීද ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අංශයේ නැංගුරම ලෙස කටයුතු කිරීමට දිනේෂ් චන්දිමාල් සිදුවේ. ඔහු ලකුණු අතරට පැමිණි බොහෝ අවස්ථාවන්හිදී තරගයක් ලබාදිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ගමන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිණි. චන්දිමාල් මත අනවශ්‍ය පීඩනයක් වැටී තිබුණද, ඔහු පිටියේ ස්ථාවර වුවහොත් සෙසු ක්‍රීඩකයන්ට චන්දිමාල් වටා ක්‍රීඩා කළ හැකිය.
එහෙයින් චන්දිමාල්ගේ සාර්ථකත්වය ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩිව දැනෙමින් පවතී. අවසන් එක්දින තරගයේදී ආරම්භක පිතිකරුවන් සැලකිය යුතු ලකුණු සංඛ්‍යාවක් රැස්කර දුන්නද, එය තරගයක් ලබාදිය හැකි ලකුණු සංඛ්‍යාවක් දක්වා රැගෙන යාමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් වූයේද මැදපෙළ අසාර්ථක වූ බැවිණි. එබැවින් මැද පෙළ බර කරට ගනිමින් චන්දිමාල්ට දිගු ඉනිමක් ක්‍රීඩා කරන්නට සිදුවේ. තවද ලකුණු අතරට පැමිණෙන පිතිකරුවන් දිගු ඉනිමක් ක්‍රීඩා නොකිරීමද ශ්‍රී ලංකා කණ්ඩායමට ගැටලුවකි. එහෙයින් පිටියේ ස්ථාවර වන පිතිකරුවන් තරගයේ අවසන් පන්දුවාරය තෙක් පිටියේ රැඳී සිටින්නේනම් එය ශ්‍රී ලංකා කණ්ඩායමට හිතකරය.