අවසන් වරට පැවැති පාකිස්තානු තරගාවලියේ මෙන්ම ඉන්දීය තරගාවලියේද ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට ප්‍රධානම හේතුව වූයේ පිතිකරුවන්ගේ දුර්වලතාව බවත්, එමනිසා ඉදිරියේදී පිතිකරුවන් ගැන තීරණයක් ගැනීමට සිදුවන බවත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පෙරේදා (01දා) අවසන් වූ තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයෙන් පසු පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මැතිව්ස් මෙම අදහස් දක්වා සිටියේය.
"අපේ සූදානම ගැන ප්‍රශ්නයක් නැහැ. ඉන්දීය තරගාවලියේ මෙන්ම නිමාවූ පාකිස්තානු තරගාවලියටත් පෙරාතුව කණ්ඩායමට හොඳ සූදානමක් තිබුණා. ඒ වගේම ඉදිරියේදී ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියට අපේ සූදානම තිබෙනවා. නමුත් තරගයට ගිහාමයි අපි හොඳින් ක්‍රීඩාකරන් නැත්තේ.
ශ්‍රී ලංකා පන්දු යවන්නෝ හොඳින් පන්දු යැව්වා. නමුත් අපේ ප්රශ්නය තිබෙන්නේ පිතිකරුවන්ගේ. එම නිසාමයි ඉන්දීය තරගාවලියෙත් පිතිකරුවන්ගේ ලොකු වෙනස්කමක් සිදුකළේ නැත්තේ. අපි විශ්වාස කළා ඔවුන්ට වැඩි අවස්ථාව ලබාදුන්නොත් කොයි වෙලාවක හරි ලකුණු අතරට එයි කියලා. නමුත් අවාසනාවකට එහෙම දෙයක් වුණේ නැහැ. එමනිසා අපිට සිදුවෙනවා තේරීම් කමිටුවත් එක්ක සාකච්ඡා කරලා පිතිකරුවන් ගැන තීරණයක් ගන්න. මොකද ලබාදෙන අවස්ථාවලින් ඔවුන් ප්‍රයෝජන ගන්න ඕන. එමනිසා සති දෙක තුනක කාලයක් ඇතුළත මේ ගැන සොයලා බලනවා." යැයි පවසා සිටියේය.
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ අංක 04 ස්ථානයේ නිත්‍ය පිතිකරුවෙකු ලෙස ඉදිරියේදී දිනේෂ් චන්දිමාල් ක්‍රීඩාකරවීමට අදහසක් ඇතැයි මැතිව්ස් මෙහිදී අනාවරණය කර සිටි අතර, ඒ හේතුවෙන් මෙම තරගයේදී ඔහුව කඩුලු රකින්නාගේ වගකීමෙන් ඉවත් කර කුසල් ජනිත් එම ස්ථානයේ ක්රීඩාකරවූ බව පවසා සිටියේය.
"පළමු තරගයේදී චන්දිමාල් ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නා. එමනිසා අපේ අදහස තිබුණේ ඔහුව අංක හතර ස්ථානයේ ක්‍රීඩා කරවන්න. නමුත් එම ස්ථානයේ ක්රීඩාකරන්නෙකුට කඩුලු රැකීම අමාරු කාර්යභාරයක්. එමනිසා චන්දිමාල්ව නිදහස්කරලා එම අවස්ථාව කුසල් ජනිත්ට ලබාදුන්නා. චන්දිමාල් හා කුසල් දෙදෙනාගේ කඩුලු රැකීමේ දක්ෂතා අතර ලොකු වෙනසක් නැහැ.
කුසල්ගේ පළමු තරගය නිසා ඔහුට චකිතයක් තිබෙන්න ඇති. ඔහු තවම ළාබාල ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහුට (කුසල්) පළමු තරග දෙක ගිලිහී ගියා. නමුත් ඔහු ලැබුණු තරගයේදී හොඳින් ක්‍රීඩා කළා. එය ඉදිරියටත් සිදුකරයි කියලා බලාපොරොත්තු වෙනවා."
ඉශාන්ත් ශර්මා හා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර ඇතිවූ බහින් බස්වීම ගැන මැතිව්ස්ගෙන් මෙහිදී විමසා සිටි අතර, එයට සිනහවකින් පිළිතුරු දුන් ඔහු පවසා සිටියේ, ඕනෑම තරගයක බහින්බස්වීම සාමාන්‍යයක් මෙන්ම එම සියලු දේ සිදුවන්නේ ක්‍රීඩාපිටිය තුළදී පමණක් බවත්ය.
"ඒ ගැන කිසිම දෙයක් කියන්න නැනැ. තරගයකදී බහින් බස්වීම් ඇති වෙනවා. එය කණ්ඩායම් දෙකෙන්ම සිදුවෙනවා. නමුත් තරගය අවසන් වුණාට පසු සුහදව කථාබහ කරනවා" යනුවෙන් අවසන් වශයෙන් පවසා සිටියේය.